එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Tuesday 26 June 2012

෴ ජෝතිපාල නැවත කියවමු ෴


 ජෝතිපාල 1936 - 1987 පනස් එක් වසරක සෞන්දර්යය චාරිකාව.

 පූර්විකාව:

ඔබෙ ප්‍රතිමාවක් නැති රජ දහනක සිට........

හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල හෙවත් එච්.ආර්. ජෝතිපාල, එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න කියන විදියට "ජෝති"  ශ්‍රී ලාංකේය සංගීත අඹරේ සුපිරි ගායන තරුව, ජෝතිපාල මිය ගොස් 2012  ජූලි මස 07 වන දිනට වසර 25 කි. ඔහු ශ්‍රී ලාංකේය සංගීත රසිකයන් හැර ගියේ 51 වියේ දීය. ජෝති ශ්‍රී ලාංකේය සංගීත සමාජය  හැර ගොස් වසර විසිපහක් ගත වුවද, තවමත් ගායන අඹරෙහි සුපිරි ගායන තරුව ඔහු ය. ඔහු ගොඩ නැගූ  ඒ ජනප්‍රිය සංගීත සංස්කෘතිය අභිබවා යාමට එදා මෙදා තුර කිසිවකු මේ ශ්‍රී ලංකාවේදී සමත් වී නැත.

ජෝතිපාල ලංකාවේ පහල වීම අහම්බයක් හෝ විශ්මකර්මයක්  නොවේ. අහම්බෙන් වුවද එවැනි පහළ වීම් නැවත ඇති නොවනු ඇතැයි සිතිය නොහැක. එසේම එවැනි විශ්මකර්මයකු නැවත පහළ නොවනු ඇතැයි යන්න ද සිතිය නොහැක. මන්ද යත් එවැනි හැකියාවන් ඇති මිනිසුන් කිනම් මොහොතක හෝ පහළ විය හැකි  බැවිනි.

ජෝතිපාල මිය ගිය පසුව ද ගෙවුණු වසර විසිපහ තුළ චිත්‍රපට 25 ක පමණ ගී ගැයුවේ ය. විවිධ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ, මෙන් ම පුවත් පත් සඟරා ඔස්සේද ඔහු පිළිබඳව විවිධ කතා බහ ඇති විය.

ජෝතිපාල ජීවත් ව සිටි සමයේ සිට මේ දක්වා ගතවූ  හැම දවසකම, ඉර බහින හැන්දෑවක ගමක ගෙපැළක, පිල්කඩ උඩ ඇසුණේ ජෝතිපාල ගැයූ ගීයකි. හේනක, කුඹුරක,  පැල් රකින ගොවියා තම කාංසිය සහ පාලුව මඟ හරවා ගත්තේද, ජෝතිගේ ගීයක් මිමිණීමෙන් හෝ ගුවන් විදුලියේ පාව ආ ජෝතිගේ  ගීයක් ඇසීමෙනි.

හැන්දෑවට, පාරේ වැනි වැනී යන බේබද්දා  බැරි බැරි ගානේ  කෑ මොරදෙන්නේද, ජෝතිගේ ගීයක් කෑ ගසා කීමෙනි. එහි කිසිඳු සෞන්දර්යයක් හෝ රසයක් නැත ද , තවත් අයෙකුට මහත් හිසරදයක්, කන්දොස්කිරියාවක් වුවද, ඔහු සිය ගායනය නවත්වන්නේ නැත. ඔහු අමාරුවෙන් හෝ වෙරි මරගාතේ පෙම් බඳින්නේ ජෝතිපාලට ය.

හැන්දෑවක වැව් ඉවුරක, ගං ඉවුරක, ඇලක් හෝ දොලක් අයිනේ "සෙට්" වෙන කොල්ලො කුරුට්ටෝද දෙකක් දාගත්ත ගමන් මුමුණන්න පටන්ගන්නේ ද,  දවසේ මෙහෙය නිමවා බාර් එකේදි ‍"සෙට් " වෙන කම්කරු පන්තියේ මිනිසුන් ද, සති අන්ත වලදී  හවසට සොඳුරු තැන්වල හමුවෙන හිත මිතුරු පිරිස් ද, රාත්‍රී සුපිරි සමාජ ශාලාවක  ‍"සෙට්" වෙන ඉහළම කෝටිපතියාගේ සිය මධ්‍යම පාන්තික රැඩිකල්  තරුණයා දක්වා ද  තෝරා ගන්නේ ජෝතිපාලගේ ගීයකි.

ගායන ලොවේ සුපිරි තරු තෝරන "සුපර් ස්ටාර්" තරඟ වලදී  අධුනිකයා ගයන්නේ ද  ජෝති පාලගේ ගීයකි. මෙරට හතළිස් ගනනකට කිට්ටු සියළුම ගුවන් විදුලි නාලිකා වලින් අවම වශයෙන් එක ගුවන් විදුලි නාලිකාවක් දිනකට ජෝතිපාලගේ ගීත අවම වශයෙන් 10 ක් හෝ 12 අතර ගනනක් ප්‍රචාරය කරයි. ජෝතිපාල නොසිටියේ නම් ඒ ගුවන් විදුලි නාලිකා පවත්වාගෙන යාම ද ගැටළුවක් වනු නියත බව සිතෙන්නේ දිනකට ඇසෙන ජෝතිගේ ගිත ගැන හිතෙන විට ය.   ජෝතිපාල සමාජ ගත වන්නේ ඒ විදියට ය.

මෙරට විචාර කලාව අනුව  ජෝතිපාල ජීවත්ව සිටි සමයේ ගීතය සහ සංගීතය ද දෙකට බෙදුනි. අමරදේවයන් ප්‍රමුඛ ගායන පරපුර සම්භාව්‍ය ගීත සාහිත්‍යයේ ඇසුර එක් පසෙක ද, ජෝතිපාල , පුමුඛ ගායක පරපුර ජනප්‍රිය සංගිතය සහ ගීත ශෛලියද අනෙක් පස සිට අනුගමනය කළේය. අමරදේවයන් ප්‍රමුඛ ගායන පරපුර උත්තම ගණයට අයත් වූ අතර එකී විචාර කලාව අනුව  ජෝතිපාල වැටුනේ අධම ගණයේ ගීත ගොඩටය. අපේ විචාර කලාව ක්‍රියාත්මක වූ යේ  ඒ අයුරිනි.

එදා සිට මේ දක්වා ජෝතිපාලගේ ගායන ශෛලිය හෝ ඔහුගේ  ගීත පිළිබඳව නිසි විචාරාත්මක අගැයුමක් සිදුව නැති බව මගේ හැගීම ය. මේ සඳහා ප්‍රවේශයක් සපයා ගැනීමට මා  ජෝතිපාල පිළිබඳ ලියැවුන පොත්පත් තිබේ දැයි විමර්ශනයක් කළෙමි. එහෙත් ජෝතිපාල නැන ලියැවුණු පොත්පත් කිසිවක් හමු නොවුණි. කොළඹ පොත් සාප්පු ගණනාවක් පීරා පොත්පත් සොයද්දී මට හමුවූ එකම කෘතිය වූයේ පරාක්‍රම කොඩිතුවක්කු කවියා විසින් ලියූ "ජෝති රශ්මි රාත්‍රී"  ආඛ්‍යාන කාව්‍යයයි. පරාක්‍රම කොඩිතුවක්කු එය ද පළකර තිබුණේ කවියෙනි. ඒ නිසා ජෝතිපාල සහ ඔහුගෙන් ගීත සාහිත්‍යයට සහ සිනමාවට සිදුවූ සේවය කුමක්ද යන්න සොයා බැලිමට සිතක් පහළ විය .

ඒ අනුව, ජනප්‍රිය සංගීත සංස්කෘතිය හඳුන්වා දුන් ජෝතිපාලගෙන් සිංහල ගීත සාහිත්‍යයට  සිදුවූ සේවය කුමක්ද?

ඔහු අතින් සිංහල චිත්‍රපට සංගීතයට හැර  සිංහල ගීතයට කිසිඳු සේවයක් සිදු නොවුණිද

1960, 70, සහ 80 දශකවලදී  සිංහල සිනමා බැබලුණේ ජෝතිපාල නිසාද? එසේත් නැත්නම් සිංහල සිනමාව නිසා ජෝතිපාල බැබලුනේද?

ජෝතිපාල ස්වතන්ත්‍ර ගී නොගැයුවේද? ගැයුවා නම් ඒ මොනවාද?

ජෝතිපාල ගැයුවේ අනුකාරක ගී පමණද? ඒ හැම අනුකාරක ගීයක්ම හරසුන් බොළඳ පදමාලා වූයේද?

ඒවා ගීත සාහිත්‍යයේ උත්තම ගණයට නොවැටී අධම ගණයට අයත් වූයේ ඇයි ?

යන මෙන්න මේ කරුණු පිළිබඳව  ගත වූ වසර විසිපහක කාලය දෙස ආපසු හැරී  බලන විට මේ  සඳහා පිලිතුරු සෙවිය යුතු කාලය එළඹ ඇති බව  සිතුනි. එහෙත් ඉතිහාසය නැවත නිවැරදි කළ නොහැක.  කළ හැක්කේ වර්තමානය සහ අනාගතය නිවැරදි කිරීම පමණි. ඒ නිසා මේ සූදානම් වන්නේ ඒ ඉතිහාසයේ වැළලී ගිය සොඳුරු තැන්  සහ  මතකයන් යළි හාරා අවුස්සන්නට ය. ඒ වියළී ගිය කර්කෂ අතීතය තුළින් "ජෝතිපාල නැවත කියවන්නටය."  ජෝතිපාල ජීවත්ව සිටියදී  ඔහු ගැන නොලියවුණු  එහෙත් ලිවිය යුතුව තිබුණ විමර්ශනාත්මක විචාරය ලියන්නටය. ජෝතිපාල මගින් සිවිල් සමාජය ගැන කතා කරමින් බ්ලොග් අවකාශයෙහි පළමු වරට  ජෝතිපාල ගැයූ මිහිරිම ගීතාවලියක මිහිරිතර අත්දැකීම් ඔබ සමග බෙදාගන්නට ය.

'ජෝතිපාල නැවත කියවමු" ඔව්, ඊට හොඳම කාලය මෙයයි. "අස්වැන්න" අද  පටන්  ජෝතිපාල සහ ඔහු ගැයූ  ගීත පිළිබඳව දීර්ඝ විමර්ශනයකට ලක් කරමින් පුරා වෘත්තයක්  සේ දිග හැරෙයි. මේ සටහන් පෙළ අවම වශයෙන් කොටස් 30 හෝ 40 පමණ දීර්ඝ වනු ඇතැයි මටම සිතේ. එසේ වුවද මේ දීර්ඝ ලිපි පෙළ නොකඩවා එක දිගටම ලිවීමේ අපේක්ෂාවක් නැත. විමර්ශණයක් කිරීම තරමක් සූදානම් විය යුතු විෂයකි. ඒ සඳහා යම් යම් ගවේෂණ සිදු කළ යුතු ය. ඒ සඳහා දිගු කැප කිරීමක් සහ කාලයක් අවශය ය.  ඒ නිසා ඉඩක් ලැබෙන පරිදි කොටස් වශයෙන් ලිවිමට අපේක්ෂා කරන  මේ ලිපි මාලාව අවසන් විමට වසරකටත් වඩා දිගු කාලයක් ඉක්මවා යා හැකිය.

ඒ නිසා "අස්වැන්න" මෙතැන් පටන් ලියන "ජෝතිපාල නැවත කියවමු"  ලිපි මාලාව කියවන්නටත්, ඔබ ජෝතිපාලගේ මෙතෙක් ඇසූ ගීතවල මිහිර මෙන්ම,  කිසිම දිනෙක නෑසු  ජෝතිපාලගේ මිහිරිම ගීතාවලියක මිහිර බෙදාගන්නටත් අස්වැන්නට එකතු වන ලෙස ඔබට ඇරයුම් කරමි. මෙහිදී  "අස්වැන්න" තුළින් ඔබට අසන්නට ලැබෙන්නේ ඔහු ජීවත්ව සිටියදී ගැයූ ගීතවල මුල් ගීතයන් පමණි. ඔහු මියගිය පසු කණ්ඩායම් සංගීත වලට ජෝතිපාල ජීවත්ව සිටියදී ගී නොගැයූ නිසා එවැනි නව සංගිත සංයෝජන ඇතුළත්  කිසිදු ගීයක් මෙහි ඇසෙන්නේ නැත.

මේ සඳහා ඔබේ අදහස් සහ යෝජනාද එකතු කරන්නට කැමැත්තෙන් සිටිමි. ජෝතිපාල ගැයූ ගිත , ඔහු පිළිබඳව තොරතුරු, විස්තර, විචාරාත්මක අදහස් ඔබ සතුව ඇත්නම් ඔබ කැමති නම් එයද අස්වැන්නට එකතු කළ හැකිය. ඒ සඳහා ඔබගේ නම  සහ බ්ලොග් අඩවියක් ඇත්නම් එහි විස්තර ද මගේ ඊමේල් ලිපිනයට එවනු ලැබුව හොත් ඒ තොරතුරුද  ඉදිරිපත් කළ හැකිය.

අද "අස්වැන්න" ජෝතිපාල නැවත කියවමු  පූර්විකාව නිමා කරන්නේ මා කිය වූ  පරාක්‍රම කොඩිතුවක්කු විසින් රචිත "ජෝති රශ්මි  රාත්‍රී" කාව්‍ය සංග්‍රහයේ ඇති ජෝතිපාල පිලිබඳ ලියැවුණු මේ අපූරු කාව්‍යයේ ‍කොටසක් උපුටා දක්වමිනි.

                             ...... ජෝති ඔබ
                             යුගයේ වඩාත්ම ප්‍රේමනීය හඬද වූවෙහිය
                             වඩාත් විශ්වාශවන්ත හඬද වූවෙහිය
                            
                             හැම යුගයක්ම
                             බිහිකරයි තම කාලයේ විරුවන්
                             ඇතැම්විට ඒ දරුවෝ
                             වැටී සමාජ පත්ලෙහි
                             සැඟව යති මහා නෞකා සේ
                             සාගර කුක්ෂියෙහි ගිලී යන

                             ඒ වීර දූ පුතණුවන්
                             යළි සොයා ගොස්
                             වඩා හිඳුවා
                             නළවන්න එපාද
                             ඉතිහස නම් මෑණිය උකුළේ?

උපුටා ගැනීම:
 පරාක්‍රම කොඩිතුවක්කු ගේ  "ජෝති රශ්මි රාත්‍රී" කාව්‍ය සංග්‍රහය (10 සහ 11 පිටු වලින් )

ජෝතිපාල මියගොස් වසර විසි පහකට පසුව ඒ ජෝතිමත් ඉතිහාසය හාරා අවුස්සා ඒ අසාහය ගී මිහිර විදිමින්  අපි ලබන සතියේ සිට "ජෝතිපාල නැවත කියවමු" එය කියවා "හිස් අහසේ ගෑවෙන්න තරමට ගී සෑයක් බඳිමු" මෙතෙක් කල් ජෝතිපාලගේ ගී මිහිර වින්ද ඔබට එය අලුත් අත්දැකීමක් සේම , ඇතැම් විට ඔබ කිසිදින ජෝතිපාලගේ ගී මිහිර නොවිඳ අතහැර දැමූ ජෝතිපාලගේ ගිත එපා වූ අයෙක් නම් නැවත ජෝතිපාලගේ ගී ගැන හිතන්නටත් මෙය  අලුත් මාවතක් වේවි.෴



Tuesday 19 June 2012

෴ මේ රෑ සොඳුරුයි ෴



හිතට දැණුන  හද බැඳි ගී පෙළහර...

ගීතය, සංගීතය, සහ  ගීත සාහිත්‍යයේ අක් මුල් සොයා යන ගමනේ දී ගීතයේ විවිධ ස්වරූප, විවිධ රස, විවිද නාද මාලා, හමුවෙයි.  ගීතය පිළිබදව විවිධ මත දරන ප්‍රවීන සංගීත පරපුරත්, ගීතයේ නව ඉසව් ඉව කරන, සොයන නව පරපුරත් ගීතය පිළිබඳව  මත දෙකක් දරයි. ගීතයක් ආනන්දයෙන් ආරම්භ වී ප්‍රඥාවෙන් අවසන් විය යුතුය යන මතය ප්‍රවීන සංගීතවේදින්ගේ සහ විචාරකයන්ගේ මතය වන අතර , ගීතය යනු හුදෙක් රසවින්දන මාධ්‍යයකි එයින් සරල අරුතක් සහ රසයක් නිපදවීම ප්‍රමාණවත් ය  යන මතයේ නව පරපුර එළඹ සිටී. එසේම ඒ දෙපිරිසටත් අයත් නො වන ජනප්‍රිය සංගීතය පසුපස  හඹා යමින් ගීතය වෙළඳාම්  භාණ්ඩයක් කර ගෙන ගීත ගයන පිරිසක් ද  අපට සිටී. ඔවුන්ගේ මතය අනුව නම් ගීතය ආනන්දයෙන් ආරම්භ වී එක්කෝ බොරැල්ලට නො ගොස් කෙළින්ම බොරැල්ල කනත්ත දක්වා හෝ එසේත් නැත්නම් ආනන්දයෙන් ආරම්භ වී මරදාන මරිය කඩේ හංදිය දක්වා ගියද කම් නැත එයින් තම ගීත වලට වෙළඳපොළක් නිර්මාණය වනවා නම් ඇත යන මතය දරමින් ගී ගයන පිරිසක් ද මේ සංගීත ක්ෂේත්‍රයේ නැතුවා නො වේ. ඒ මේ සංගීත ක්ෂේත්‍රයේ රළ පෙරලෙන හැටි ය.

ඒ කෙසේ වුවද, නව සංගීත පරපුර ගමන් ගන්නා මාර්ගය සහ ඔවුන් අනුගමනය කරන සංගීත ක්‍රම පිලිබඳව තව දුරටත්  ඒ මංමාවත් ඔස්සේ  තවත් නැවුම් ගීත  කීපයක් සමග “අස්වැන්න” තුළින් කිසියම් වූ  ප්‍රමාණයක අදහසක් ගොඩ නැගිමට සිතුවෙමි.

ආචාර්ය වික්ටර් රත්නායක
ඒ නිසා අද  "අස්වැන්න" සටහන තබන්නේ  අපේ කාලයේ නව පරපුරේ සංගීත අධ්‍යක්ෂ වරයෙකු, ගායන ශිල්පියෙකු, මෙන්ම අති දක්ෂ වාද්‍ය ශිල්පියෙකු ගැයූ ගීත කීපයක් ඔස්සේ ඔහුගේ ගමන් මග විමසා බලන්නට ය. මේ ගී ගැයූ ගායන ශිල්පියා‍ ‍අන් කවුරුත් නො ව ජයන්ත රත්නායක ය. ජයන්ත යනු ප්‍රවීන ගායනවේදී සහ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ පුතණුවන් ය. 

ජයන්ත සංගිත ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ළමා වියේ දී ම ය. මට මතක හැටියට ඔහු මුල්ම ගීය ගැයුවේ වයස අවුරුදු හයේ දී  ය. ඒ 1975 දී ටයිටස් තොටවත්තයන් නිර්මාණය කළ “හඳයා” ළමා චිත්‍රපටයට ය. “ හඳයා” චිත්‍රපටයේ ඒ අපූර්ව ගීතය ඔබ ද එක වරක් හෝ අසා ඇතැයි කල්පනා කරමි. එය එදා පටන් අද දක්වා ම අතිශය ජනප්‍රිය ළමා ගීයකි.


“ කවුරුද කවුරුද දැන් ලොක්කෝ
  අපිමයි අපිමයි දැන් ලොක්කෝ..”

මේ එදා මුල් වරට ජයන්ත ගැයූ ළමා චිත්‍රපට ගීයයි. අනතුරු ජයන්ත වැඩිම ගී ගණනක් ගායනා කර ඇත්තේ රූපවාහිනී කාටූන් වැඩසටහන් සඳහා වේ. ළමුන් අතර තවමත් ජනප්‍රිය කාටූන් වැඩසටහන් වූ “පිස්සු පූසා, දොස්තර හොඳ හිත,  රසාර,  ආදී  කාටූන් වැඩසටහන් රැසක  ගී ගැයුවේ ජයන්ත විසිනි.  ඔහු බාල කාලයේ පටන් ස්වාධීන ගමන යෙදෙමින් තම අනන්‍යතාවය තහවුරු කර ගත් ශිල්පියෙකි. වර්තමානයේ ඕනෑම වාද්‍ය වෘන්දයක සිටිය යුතු  අත්‍යවශ්‍යම Keyboardවාද්‍ය ශිල්පියා ය.  ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ “ ස” ප්‍රසංගයේ සංගීත මෙහෙයවිමේ කටයුතුද කරන්නේ ජයන්ත රත්නායක  විසිනි. ජයන්ත එසේ සිය පියාගේ අතිශය ජනප්‍රියත්වය පසුපස හඹා නො ගොස්  සිය පියා විසින්  ශ්‍රී ලාංකේය ගීත ක්ෂේත්‍රයට දායාද කළ  ගී අස්වැන්න සහ සංගීතය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගනිමින් ඔහුට ම ආවේණික වූ ගායන ශෛලියක් ගොඩ නගා ගන්නේ පෙරදිග සංගීතයේ නො මඳ ඇසුර ලබමිනි.

 පළමු වරට  ජයන්ත සිය සොහොයු‍රා වන ලෙලුම් රත්නායක සමග “ඇසළ නිල් සඳ නමින් ගීත ඇල්බමයක් නිකුත් කළේ මිට පහකට හෝ හයකට පමණ ඉහත දී ය. අනතුරුව ඉන් වසර කීපයක් ඇවෑමෙන්  ජයන්ත නැවත සිය ගායන කුසලතාවය විදහා දක්වමින් මීට  වසර දෙකකට පමණ පෙර දෙවන ගීත ඇල්බමය “ආදර පූජාසනේ” නමින් එළි දක්වන ලදි. අද “අස්වැන්න” තුළින් අසන්නේ එම ඇල්බමයේ තෝරා ගත් ගීත කීපයකි.

“හුදකලාවූ මොහොතක හිතට දැනෙන පාලුව, දුක සහ සංතාපය විඳවන්නේ තනිවම ය. එහෙව් අඳුරු රාත්‍රියක ඇති සියුම් සුන්දරත්වය ද  ගීයක් බඳුය. රෑ අහස් තලයෙන් කඩා ‍වැටෙන නිල් තාරකා එළිය බඳු ආදරේ සියළු උල්පත් වසා ගලා හැලෙන හීන් සීතල සුළඟද රුදුරු බවක් ගෙනෙන්නේ නැත. ඒත් ඒ තරම් සුන්දර රාත්‍රියක ඇය සිහින සිත්තමක් බඳුය. ඒත් මේ රාත්‍රිය ඇය තරම් වේදනාවක් ගෙනෙන්නේ නැත. මමත්, මගේ සිතත් ආදරයෙන් සතපවන මේ රාත්‍රිය ඇය තරම් අකාරුණික නැතත්, ඇයට වෛර නොකරමි. මට ඇති වන්නේ මා ගැන දුකත්, සංතාපයත් පමණි.”

ජයන්ත රත්නායක ගයන “මේ රෑ සොඳුරුයි”  ගීයේ සරළ අදහස එහෙම වුණත්, මේ ගීය හුදකලා  රාත්‍රියක එක වරක්,  දෙවරක් නො ව කීප වරක් ඇසුව ද,  හිතට එබෙන්නේ දුක් මුසු ගායනයකි. එය මේ ගීයේ පද මාලාව තුළ ද, ගීතයේ සංගීතය තුළ ද, ගීතය අසන ශ්‍රාවකයා තුළ මවන අපූරු රස සංකලනයකි.

මේ ගීය සදහා සංගීතය නිර්මාණය කිරීමේදී ආචාර්ය වික්ටර් රත්නායක බටහිර සංගිත භාණ්ඩයක් වූ “ හවායන් ගිටාරය”  සහ පෙරදිග සංගිත භාණ්ඩයක් වූ “බටනලාව” ගීතයට එකතු කර ඇත්තේ රාත්‍රියේ තිබිය යුතු නිසංසල බවත්, ගීතයෙන් මතු කරන හුදකලාවත් වඩාත් තියුණු කිරීම සඳහා බව ගීය ඇසෙන විට මට දැනේ. විශේෂයෙන් මෙහි  හවායන් ගිටාරය  සහ බට නලාව ගීතයට නො මඳ ආලෝකයක් සපයන බව සඳහන් කළ යුතුය.

මේ රෑ සොඳුරුයි
තරු රෑන පිපෙයි පිනි පොකුරු සැලෙයි
සිත මා නොනිඳයි
සඳ පාන එබෙයි නෙත හීන බි‍ඳෙයි
ඔබ ඈත දුරින් හිඳ මා රිදවයි
මේ රෑ සොඳුරුයි

ඔය ඈත ඉඳන් හෙළනා සුසුමින්
සඳපාන නිවෙයි සිත මා සසලයි
තනිකම පුරුදුයි මේ දුක නුහුරුයි
ඉකිබිඳින හැඬුම් අඳුරේ විසිරෙයි

මියෙනා මතකින් ඔබ යළි ඇවිදින්
සිත් දෙවැට රැඳී ඇයි මේ සරදම්
නෙත කදුළු බි‍ඳෙන් සේදී මොහොතින්
ඒ මතක ඉමේ නොපෙනී සැඟවෙන්

ගේය පද: කුමාරදාස සපුතන්ත්‍රී
සංගිතය: ආචාර්ය වික්ටර් රත්නායක
ගැයුම: ජයන්ත රත්නායක


ගීතයේ මූලික අරමුණ අසන්නා තුළ රසයක් ඇති කිරීම ය. ගීතයක රසය ඉතා ගැඹුරුය, අර්ථවත් ය. එය තාවකාලික විනෝදාස්වාදයක් සපයන රසයක් ඉක්මවා එය , රසවින්දන මට්ටම ඉහළ තලයකට ළඟා කරන්නා වූ  එකක් විය යුතු ය. මෙකී කාරණය අප නිතර අසන ගීත බොහොමයකින් ඉටු නො වුනද,  ගීයක් ඇසෙන  හෝ අසන අවස්ථාව අනුව ඒ ගීය උසස් රසවින්දනයක් කර යොමු කළේ ද නැද්ද යන්න වටහා ගත හැකිය. ගීතයේ සරළ බවත්, ඒ සරළ බව තුළ ඇති ගැඹුරු රස වින්දනයත්, ගීතය හරවත් මාවතකට  යොමු කරන්නේ ඒ විදියට ය .

ගීයක ගොනු කරන්නා වූ සංකල්ප රූප අතර, ඉර, හඳ, තරු, මල්, මෙන්ම මුහුද, වෙරළ ආදිය ප්‍රේම ගීයකට සොඳුරු නවාතැන් සපයන සංකල්ප රූපයන් ය. එවන් වූ ගීයක් නිරතුරු ප්‍රේමණීය කවි සිතුවිලි ළං කරයි. ඇස ගැටෙන ඉසව්වේ පරිසරය තුළ ඇති ස්වභාවික වස්තූන්වලට සජීවි බව ආරෝපණය කරන කවියෙකු තුළ මෙවන් සිතුවිලි මත ගේය පද රචනා බිහිවීම අරුමයක් නො වේද යන්න සිතෙන්නේ “ඔබ අහසක් දෝ”  ගීතය ඇසෙන විට ය. ගීතයේ තනුවත් ගායන ශිල්පියාගේ අරුමැසි හඬත් මුසු වූ විට එහි ඇත්තේ ඉහත කී සරළ එහෙත් ගැඹුරු වින්දනීය අවස්ථාවයි.

ඔබ අහසක් දෝ
ඉර හඳ තරු මල් පුබුදන
 රුදුරු අකුණු සැර ඉවසන
යළි නිල් මේ කුළු අතුරන
 ඔබ අහසක් දෝ...

ඔබ වෙරළක් දෝ
සැඩ මහ සමුදුර ඉවසන
දළ රළ පෙළ මැඬ හිනැහෙන
යළි මුතු පෙණ හා මුහුවන
ඔබ වෙරළක් දෝ..

ඔබ කුසුමක් දෝ..
බමරු බමන මග පිබිදෙන
රොන් සගවාගෙන පසුවන
යලි මා ළඟ පෙති විහිදන
ඔබ කුසුමක් දෝ..

ඔබ කවියක් දෝ..
මා සඟවන හැම හෙළි වන
උණු කඳුළින් හිත හඬවන
යළි මොහොතින් මා නළවන
ඔබ කවියක් දෝ..

ගේය පද: බන්ධුල නානායක්කාරවසම්
සංගිතය: ආචාර්ය රෝහණ වීරසිංහ
ගැයුම: ජයන්ත රත්නායක

 “ඔබ අහසක් දෝ” ගිතයමෙතනින් අහන්න

ජයන්ත රත්නායකගේ “ආදර පූජාසනේ” ගීත ඇල්බමය තුළ දක්නට ලැබෙන්නේ ඉතා රමණිය මධුර  ගේය පද රචනාවන් ය, මධුර සංගීත ස්වර රටාවන් ය. සිත නිවා සනසන  සංගීතමය අත්දැකීම් ය. ගේය පදරචනා සංගීතමය බසකින් දිග හැරෙන විට ගායන ශිල්පියාගේ ගායනය තුළ සංගීතයත්,  සංගිතය  තුළ ගායනයත් කැපී පෙනේ.

 වික්ටර් රත්නායකයන්ගේ ගී වල ඇති ගායන මාධූර්යය මෙන්ම සංගීතය හා නාද මාලාවන්ද ජයන්ත මැනැවින් ග්‍රහණය කරගෙන සිටි. ඒ ගායනා තුළ තවත් වික්ටර් රත්නායක කෙනෙකු මතු නොවන පරිදි සිය පියා රසිකයන්ට ලබා දුන් මියුරුතම සංගිතමය අත්දැකිම් පෙරළා‍ ජයන්ත ද මේ නූතන ගීත රසික පරපුරට ලබා දෙයි.

“ඇතැම් විට එයද සොබාදහම මැවූ සුන්දර රාත්‍රියක් වැන්න. සඳ එළිය කඳු වළල්ලෙන් එබී, පුංචි ඇස් විවර කර දුර ඈත සිට එබෙන තරු යුවලද ඇගේ නෙතු සේ ම ය. ගලා යන නදී ඇළ දොළ මත පවා රිදී ඉරි අඳිමින් නැගෙන සඳ කැන් ඒ දිය මත බොඳ කර හරින්නේ ආදරය නිමා වූ ,  පරාජය වූ ප්‍රේමවනතයෙකුගේ අතීතයකි. රාත්‍රිය හීන් සීරුවේ වපුරන පිණි කැටද, පෙර දිනෙක ඈ නෙතු අගින් ගලා ගිය කඳුළු වාගේ ය. මේ රැයෙහි බිඳුණේ අපගේ පැතුම් පමණක් නොව සොබාදහම මැවූ සුන්දර රාත්‍රියක එතී තිබූ දුක් සහ සංතාපයන් ය. ඒ අපේ වියෝවේ අතීතයයි.”  ජයන්ත වික්ටර් රත්නායකයන්ගේ සංගීතයට මේ මුසු කරන්නේ ඒ පෙම් පුවතයි.

කඳු වළල්ලෙන් සඳු උදා වී
ඔබේ රුව විමසයි
වලා යහනේ තරුද අවදිව
ඔබේ නෙතු විමසයි
ඔබේ නෙතු විමසයි..

නදී තලයේ  ගලා සඳ කැන්
මවා ඔබගේ සිනා රැලි
සුසුම් පහරින් බොඳවෙලා යයි
අතීතය විලසින්
අපගේ අතීතය විලසින්..

නිශා උයනේ සැලී පිනි ළැල්
මවා ඔබගේ කදුළු වැල්
පැතුම් බිඳිමින් රැය ගෙවී යයි
වියෝගය විලසින්
අපගේ වියෝගය  විලසින්

ගේය පද: කුලරත්න ආරියවංශ
සංගිතය: ආචාර්ය වික්ටර් රත්නායක
ගැයුම:  ජයන්ත රත්නායක

“කඳු වළල්ලෙන්” ගීයමෙතනින් අහන්න


ගිටාර් පමණක් වාදනය කර නිර්මාණය වූ ගීය මෙයයි:

ජයන්ත සිය  “ආදර පූජාසනේ” ගීත ඇල්බමය සඳහා ගීත පදමාලා සහ සංගීත නිර්මාණ තෝරා ගන්නේ ඉතාමත් කල්පනාකාරීව ය.. පද මාලාවේ ඇති සාහිත්‍ය රසයත්,  එහි අරුත පිළිබඳවත් මනා සැළකිල්ලක් දක්වන සේ ම ඒ පදමාලා සදහා තනු නිර්මාණය කර ගැනීමේදී ගීතයේ තනුව සහ නාද මාලාව පිළිබඳවද නිසි සැළකිල්ල යොමු කර තිබේ. එය ජයන්ත සිය පියාගේ ගී රස විඳීමේ දී  ලැබූ දැනුම ය. එය නූතන ගීත සාහිත්‍යයට ජයන්තගෙන්  ලැබූ  ප්‍රබල  ආලෝක ධාරාවකි.

මහාචාර්ය සුනිල් ආරියරත්න ලියූ “මගේ හසඟන” ගීය ඊට හොඳම නිදසුනකි. මේ ගීයේ පදමාලාවේ අරුත නො බිඳෙන පරිදි තනුව නිර්මාණය කර ඇත්තේ තවත් අති දක්ෂ ගිටාර් වාද්‍ය ශිල්පියෙකු වන  මහින්ද බණ්ඩාර ය.  ගිටාරය භාවිතා කර ගී තනු නිර්මාණය කළ ක්ලැරන්ස් විජේවර්ධන මෙන් ම කසුන් කල්හාර සහ නාලක අංජන කුමාර හැරුණු විට අපට සිටින ජ්‍යෙෂ්ඨ ගිටාර් වාද්‍ය ශිල්පියාද මහින්ද බණ්ඩාර ය.

මහින්ද බණ්ඩාර මේ ගීය සදහා ඉතා අපූර්ව වූ ගී තනුවක් නිර්මාණය කර තිබේ. මේ ගීය මුලුමනින් ම නිර්මාණය වී ඇත්තේ ගිටාර් වාදන වලින් පමණි. ගිටාර් ගණනාවක් එක වර වැයීමෙන් වෙනත් කිසිඳු සංගීත මෙවලමක් භාවිතා නො කොට ගීයේ ඉතිරිය පුරවන්නේ ජයන්තගේ හඬිනි. මේ නම් ගීත සාහිත්‍යයේ අති විශිෂ්ඨ නිමැවුමකි.

මගෙ හසඟන පිහිනා යන්න ඉතින් ගංගාවේ
ඇති නැවතී සිටියා‍ ඉවුරේ
ජයන්ත සහ ලෙලුම්
අපි හමුවෙමු නිවනට නො ගිහින් මතු අත් භවයේ
යළි ඉපිද ඉපිද සංසාරේ

ඔබට උරුම ඔය ජල තලයයි
මගේ ගෙබිම මේ මහ පොළවයි
අපි මොනවා කරමුද සොඳුරිය
මෙය නොවේද අපගේ දෛවය

සිහිනෙන් ගෑ සුවඳක් පරිදී
ගතවූ හැම මොහොතම මිහිරී
මතු භවයකදී අතිනත් ගෙන
අපි ජය ගත යුතු වේ දෛවය

ගේය පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගිතය : මහින්ද බණ්ඩාර
ගැයුම:  ජයන්ත රත්නායක







ජයන්ත රත්නායකගේ “ආදර පුජාසනේ” ගිත ඇල්බමයට ඔහුගේ ස්වයං ගීත නිර්මාණ වලට අමතරව වික්ටර් රත්නායකයන් 70 දශකයේ දී ගැයූ මතකයෙන් බැහැර නොවූ  ගිත කිහිපයක්ද ජයන්තගේ හඬින් නැවත ඇතුළත් කර ඇත. “ආදර පූජාසනේ” ගීතය එවැන්නකි.  පියාගේ ගී ගැයිමට ජයන්ත අවශ්‍ය නො වූවද එය ජයන්ත විස්න කර ඇති එක්තරා අන්දමක අත්හදා බැලීමක් වැනි ය.

ජයන්ත රත්නායකගේ මේ ගී එකතුව නිෂ්පාදනය කොට බෙදා හරින ලද්දේ ඔහුගේ ම සොහොයුරා වන ලෙලුම් රත්නායක විසිනි. මේ ගිත එකතුව නිකුත් කර වසර දෙකකට ආසන්න වුවද, මෙවන් වටිනා ගීත එකතුවක් සියළුම ගුවන් විදුලි නාලිකා සහ මාධ්‍ය ආයතනවලින්  බැහැර වී ඇත. එසේ වුවද යහපත් ගිත සාහිත්‍යයක් තුළ බිහිවන ගිත පිළිබදව සොයා බලන්නෙකුට හා විඳින්නෙකුට මෙය නම් විශිෂ්ඨ ගී එකතුවක් වනු නො අනුමානය.෴


ඔබේ වටිනා කාලය බිදක් වැය කර ගී රස විඳිමින් කියෙව්වාට  ස්තූතියි. වෙලාවක් ඇත්නම්  ඔබේ විචාරාත්මක අදහසත් මෙහි ලියා තබන්න.

Tuesday 12 June 2012

෴ වයලීන මැවූ හීන ෴




අපේ විශිෂ්ඨතම වයලීන වාද්‍ය ශිල්පීන් තිදෙනා වයලීන වයන හැටි විදිමු....

සිංහල ගීතය සහ ගීත සාහිත්‍ය  සහිත්‍යය පිළිබඳව නිරන්තරයෙන් "අස්වැන්න" තුළින්  කතාබහ කළත් ඒ සෑම  ‍ අවස්ථාවකම  වැඩි ඉඩකඩක්  වෙන් වුණේ ගායන ශිල්පීන් , ශිල්පිණියන්, ගීත රචකයන්  සහ සංගීතවේදීන් වෙනුවෙනි. ගීතය බිහිවන්නේ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙසින්  වුවද,  එහි අවසාන නිමැවුම ගායන ශිල්පියා හෝ ශිල්පිණිය අවසන් වාහකයා වුවද ඒ නිර්මාණය බිහි කිරීමට   පසුපස සිට සහය දුන්නෝ පිළිබඳව හෝ ඔවුන්ගේ හැකියාවන් පිළිබඳව කතාබහට ලක් වන්නේ මඳ වශයෙනි. විශේෂයෙන් ම ගීතයක දී වාද්‍ය ශිල්පීන්, පටිගත කිරීමේ,  කාර්මික ශිල්පීන්ගේ කාරය භාරය සුළුපටු නො වේ. එය නො තකා හැරීම ද ඇතැමි විට බලවත් අසාධාරණයකි. ඒ නිසා ගීත ඇසීමට කැමති රසිකයෝ  එ වැනි ගීයක පසුපස සිටින නිර්මාණ දායකත්වය ලබා දුන් නිර්මාණකරුවන් පිළිබඳ තොරතුරු සහ ඔවුන්ගේ හැකියාවන් නොදන්නා තරම් ය.

ඒ නිසා ගීතය සහ සංගීතය පිළිබඳව වෙනස් ම අත්දැකීමක් විඳින්නටත්, ඒ පිළිබඳව සොඳුරු කතාබහක නියැලෙන්නටත්,  අද "අස්වැන්න " තුළින් මම ඔබටද මේ මොහොතේ ඇරයුම් කරමි.  අද  කතාබහට තෝරා ගත්තේ ලංකාවේ අද දවසේ අපට සිටින විශිෂ්ඨතම "වයලීන" වාද්‍ය ශිල්පින් තිදෙනා සහ ඔවුන් තිදෙනාගේ නිර්මාණයන් ය. මේ දක්ෂතම  වයලීන වාද්‍ය ශිල්පීන් තිදෙනා අප කවුරුත් දන්නා ඩී.ඩී.ගුණසේන, කළණි පෙරේරා සහ රෝහණ ධර්මකීර්ති ය.  මේ වයලීන වාද්‍ය ශිල්පීන් තිදෙනාගේ  වයලින වාදන ඔබ අසා ඇතත්, දැක ඇතත්, ඒ අතරට ඔවුන් තිදෙනා තුළ ඇති සුවිශේෂ හැකියාවන් සහ  ඔවුන්ගේ නිමැවුම් පිළිබඳව අමරදේවයන්ගේ සහ නන්දා මාලනියගේ ගී අනුවාදන කිපයක් ඇසුරින් මෙතැන් සිට කතා බහ කරමු.

ගීත සාහිත්‍ය පිළිබඳව සහ ගායන ශිල්පීන් ශිල්පිණියන්ගේ අතීත තොරතුරු පිළිබඳව සොයා බලද්දි, ලංකාවෙ බොහෝ ගායන ශිල්පීන් මෙන්ම ශිල්පිණියන්ද  සිය සංගීත ගමන් මඟ ආරම්භ කර ඇත්තේ වාද්‍ය ශිල්පීන් ශිල්පිණියන් ලෙසින් බවට තොරතුරු ඒ අනුව  සොයා ගත හැක. ඒ අතරිනුත් "වයලීන" වාද්‍ය ශිල්පීන් ලෙස සිය සංගීත ගමන් මගෙහි ආරම්භය සනිටුහන් කර ඇති ශිල්පින් අතර ආචාර්ය පණ්ඩිත් අමරදේව, ආචාර්ය වික්ටර් රත්නායක, මර්වින් පෙරේරා, ටී.එම්.ජයරත්න, අමරසිරි පීරිස්, බණ්ඩාර අතාවුද,  සහ නිමල් ගුණසේකර ආදී ශිල්පීන් සිටී. ඔවුන් ගායන ක්ෂේත්‍රයට පා තබන්නේ වාද්‍ය වෘන්දයන් හි වයලීන වාද්‍ය ශිල්පීන් ලෙස කටයුතු කරමිනි.

 ඒ වයලිනයෙහි ඇති සුවිශ්ෂ භාවයත්, “වයලිනය” මිනිස් කට හඬට ඉතාමත් සමීප වාද්‍ය භාණ්ඩයක් වීම නිසාත්, වයලීනය වැයෙන්නේ ශ්‍රව‍ණ ඉන්ද්‍රියයන් ආශ්‍රිතව හේතුවෙනුත් ඒ හැකියාව තුළින් ඉබේ හටගන්නා ගී ගැයීමේ හැකියාව ද,  මෙහිදී සැළකිය යුතු කාරණයකි. එසේ අහම්බයකින් ගී ගැයීම සිදු වුවද, ඔවුන් පසුකාලයේ ලංකාවේ සංගීත රසකාමීන් හඳුනාගන්නේ මෙරට බිහිවූ අද්විතීය ගායන ශිල්පින් ලෙසිනි.

"වයලිනය" තත් භාණ්ඩයක් වුවද, එය වාදනය කිරීමේදී ඇති වන මිනිස් ඉන්ද්‍රිය සංවේදීතාවය හේතුවෙන් ඕනෑම "වයලීන" වාද්‍ය ශිල්පියෙකුට ඉතාමත් මිහිරි ලෙස ගායන කුසලතාවය පිහිටන බවත් පෙනේ. මෙය උගුර ,කණ, සහ නාසය ආශ්‍රිතව ඇති වන ඉන්ද්‍රිය සංවේදී තාවයක් බව මගේ අදහසයි. මේ පිලිබඳව දීර්ඝ අධ්‍යයනයක් කිරීමට මට දැනුමක් සහ හැකියාවක් නැත.  එහෙත් අපේ බ්ලොග් අවකාශය තුළ බ්ලොග් ලියන "තොටුපළ අයිනේ" ලියන   තොටියා සහ "ලෝකයේ කොනක" බ්ලොග් අඩවිය ලියන "සිඳූ"  වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සහෘද දෙදෙනෙකු බැවින් මේ  විශේෂ  සංගිතමය හැකියාව යමෙකුට පිහිටන ආකාරය පිළිබඳව මෙම ලිපිය දැක පැහැදිළි කිරිමක් කළ හොත් එහි විද්‍යාත්මක සත්‍ය වටහා ගත හැකිය.

ඩී.ඩී.ගුණසේන:

ඩී.ඩී.ගුණසේන අද අපට ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම වයලීන වාද්‍ය ශිල්පියා ය. 1960 දිශයේ අග භාගයේදී වයලින වාද්‍ය ශිල්පියෙකු ලෙස එවකට සිටි ප්‍රවීන සංගීත අධ්‍යක්ෂවරු යටතේ කටයුතු කරමින් සිට 70 දශකය ආරම්භයේ ගුවන්විදුලි වාදක මණ්ඩලයට එක් විය. එදා මෙදා තුර මෙරට ප්‍රමුඛ පෙලේ සංගීත අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ පී.එල්.ඒ සෝමපාල, එම්. කේ. රොක්සාමි, අමරදේව,  කේමදාස, සරත් දසනායක,  ආදීන්ගේ සියළු පටිගත කිරිම් සඳහා දශක පහකට ආසන්න කාලයක් පුරා පළමු පෙළ වයලින් වාදකයෙකු  ලෙස සිය වයලීනයෙන් විචිත්‍ර සංගීතමය නිර්මාණ සඳහා දායකත්වය ලබා දී ඇත. 

ඩී.ඩී.ගුණසේන මේ මොහාත වනක විටත් වයලීන වාද්‍ය ශිල්පියෙක් ලෙස කටයුතු කරන අතරම, ඔහු අහම්බයකින් ගායන ක්ෂේත්‍රයට පිවිසියේය. ඒ 70 දශකයේ කේමදාසයන්ගේ ගීත පටිගත කිරීමකදී ය.  ඒ සඳහා සහභාගී විමට නියමිතව සිටි ගායන ශිල්පියාගේ නො පැමිණීම හේතුවෙන් අහම්බයකින් මෙන් ඔහුට ගීයක් ගැයිමට සිදුවිය. ඔහු එදා ගැයූ ඒ ගිතය අද දක්වාම අතිශය ජනප්‍රිය ගීයක් විය. කේමදාසයන් සංගිතය සැපයූ "සොඳුර මට සමුදෙන්න සමුදෙන්න " ගීයයි. අනතුරුව ගුවන් විදුලි සරළ ගී ගායකයෙකු ලෙස ගීත කීපයක්ම ගායනා කළ අතර, ගුවන් විදුලි "රාග් ධාරා" වැඩ සහනෙහි ශාස්ත්‍රීය ගායකයෙකු සහ වාදකයෙකු ලෙස ද  කටයුතු කළේය. 

ඩී.ඩී. ගුණසේන වයලීනය වයන්නේ ඉතාමත් ශාස්ත්‍රීය වාදන ශිල්පියෙකු ලෙසිනි. එය ඔහුටම ආවේනික වූ සංගිත ශෛලියකි. සිය සංගීත ශාස්ත්‍රයෙහි නිපුණත්වය විදහා දක්වමින් නිරන්තරයෙන් සම්භාව්‍ය  වයලීන  වාද්‍ය ශිල්පියෙකු ලෙස ස්වර රටා මවයි.

ඩී.ඩී. ගුණසේන  සිය දශක පහක සංගීත දිවියෙහි අමරණීය සටහනක් තබමින් මීට වසර පහකට පමණ පෙර "නිර්මාණී' නමින් අමරදේවයන්ගේ මියුරු ගීත 16 ක් රැගත් ගී අනුවාදන සංගිත තැටියක් නිර්මාණය කළ අතර “නිර්මාණී” නමින් වයලීන වාදන ප්‍රසංගයක්ද ජෝන්ද සිල්වා සමරු රඟහලේ දී ඉදිරිපත් කළේය.  ඩී.ඩී.ගුණසේනට  ශාස්ත්‍රීය සංගිතයේ මනා නිපුණත්වයක් ඇත්තා සේම  ඔහු මෙරට සංගිත ක්ෂේත්‍රයේ සියලු පටිගත කිරීම් සඳහා ඕනෑම සංගිත අධ්‍යක්ෂවරයෙකු විසින්  පටිගත කිරිම් සඳහා සිය වාද්‍ය වෘන්දයේ පළමු පෙළෙහි රඳවා ගන්නා වාද්‍ය ශිල්පියෙකි. ඩී.ඩී. ගුණසේන එක චිත්‍රපටයකත්, ටෙලි නාට්‍ය ගනනාවකත් සංගිත අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර ඇති අතර, සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, නීලා වික්‍රමසිංහ ආදී ගායක ගායිකාවන්ගේ ගී තනු නිර්මාණ සඳහා ද දායක වී තිබේ.

ඩී.ඩී.ගුණසේනගේ "නිර්මාණි" වයලින් ගී අනුවාදන ඇසෙනවිට මට හැ‍ඟෙන්නේ අමරදේවයගේ ගායනය ම ඒ ගී අනුවාදනයන්හි රඳවා ඇති බවයි. ඔහුගේ වයලින හැඬවෙන විට රසික සිත් හි රිදුම් දෙන තැන් නිවා සනහන, පිරිමදින, සේ අතිශය සියුම් ලෙස හැගීමක් ඇති වන්නේ ඔහු මධුරතර වයලීන වාද්‍ය ශිල්පයේ දක්වන නිපුණත්වය නිසාය.

ගී අනුවාදනයක් රස විඳිම පිණිස ගීයක පදමාලාව අවශ්‍ය නොවුනද  ඔබේ පහසුව සඳහාත් අවශ්‍ය නම් කෙනෙකුට මේ ගායන අනුවාදන ඔස්සේ සිය  ගායනය අත් හදා බැලීම පිණිස පහසුවන පරිද්දෙනුත්  ගීයේ පදමාලාව මෙහි සටහන් කරමි.

මින්දද හී සර වැදී සැලෙන හද
නංවන දුක් ගී ඔබට ඇහෙනවද
චන්දන මල් අතුරා ඇති යහනට
කන්ද කපා පායන් රන් පුන්සඳ.....//

තුරඟකු පිට නැගි නීල වලාකුළු
ගුවන් ගැබින් ඔබ ඇදෙන වෙලේ....//
පිබිදුණු දෑසින් බලා හිඳිමි මම....//
කුසුම් සිනා කැන් හද පුරවා...

මෙතුවක් කල් මුව මඩල වසා සිටි
අන්ධකාර සළු පටින් මුදා...//
නෙත් මිණි  පහනින් පහන් කරනු මැන..//
අනාගතේ මං පෙත පාදා....

ගේය පද: මඩවල එස් රත්නායක
සංගිතය සහ ගැයුම : ආචාර්ය පණ්ඩිත් අමරදේව



කළණි පෙරේරා:

1970 දශකයේ මුල් යුගයේ ම වයලීන වාද්‍ය ශිල්පියෙකු ලෙස සංගීත ක්ෂේත්‍රයට පිවිසි කළණි ගුවන් විදුලි සංගීත අංශයට සම්බන්ධ වූයේද වයලින වාද්‍ය ශිල්පියෙකු ලෙසිනි. 70 දශකයේ ප්‍රසිද්ධ සංගීත අධ්‍යක්ෂවරුන් වූ  පී.එල්.ඒ. සෝමපාල, ආර්.මුත්තුසාමි, එම්. කේ. රොක්සාමි, අමරදේව,  කේමදාස, සරත් දසනායක, සහ  ස්ටැන්ලි පීරිස් යන සංගිත වේදීන් කළණිගේ වයලීනයේ මියුරු රස භාවයන් වඩාත් හොඳින් සහ  මැනවින් හඳුනාගත් සංගීත අධ්‍යක්ෂවරුන් වූ අතර, ඔවුන්ගේ සියලු පටිගත කිරිම් සඳහා කළණි පෙරේරා අත්‍යවශ්‍යම වයලින වදකයෙකු ලෙස පළමු පෙළ රඳවා ගැනිමට කටයුතු කළහ. අනතරුව එළඹි රෝහණ විරසිංහ, එච්.එම්.ජයවර්ධන වැනි ‍සංගීතවේදීන් මෙන් ම නව පරපුරේ සංගීත අධ්‍යක්ෂවරුන්ට ද කළණිගේ  වයලීනය ද ඒ පටිගත කිරීම් සඳහා නැතුවම බැරි අත්‍යවශ්‍ය සාධකයකි. කේමදසයන්ගේ සංධ්වනි සහ ඔපෙරා සඳහා ද කළණි වයලීනයෙන් සිය සංගිත රසෝඝය මුදා හැරියේ ය.

කළණි ගී නො ගැයුව ද, විශිෂ්ඨ සංගිත අධ්‍යක්ෂවරයෙකි. ඔහු සංගීතය හා තනුව නිර්මාණය කළ ගීත අතර එඩ්වඩ් ගැයූ "කැරකෙන රෝදේ", "නෙතු දැහැන් බිඳී", අමරසිරි පීරිස්ගේ, "මලක් වුණේ ඇයි ඔබ මට" , නීලාගේ  "සිලිං බිලිං" සුනිල් එදිරිසිංහගේ  “ඔබ හඬයි නම්,” “කරට වඩින ගෝනි බරින්” ආදී  ගීත කළණි  පෙරේරාගේ සංගිත නිපුණත්වය මනා ලෙස කියා පාන නිර්මාණයෝ වෙති.

 කළණිගේ වයලිනය ඉතා ගැඹුරු මෙන්ම මිහිරිතර හඬ සංකලනයකි. කළණි වයලින වාදනයේදී අනුගමනය කරන්නේ බටහිර සංගීතයේ තිබෙන  සරළ සාශ්ත්‍රීය සංගීත සංකලණයයි. ඇතැම් විටක පෙරදිග සංගීතයේ සරළ සාශ්ත්‍රීය බව ද බටහිර සංගීත ක්‍රමෝපායන්ට හසු කර ගනිමින් ඔහු  ඔහුට ම ආවේණික වූ නිර්මාණාත්මක  වාද්‍ය ශිල්ප ක්‍රමයක් අනුගමනය කරයි. ඒ කළණි බටහිර සංගීතයේ රිද්ම රටාවන්ට බොහෝ සේ ප්‍රිය කරන නිසා විය හැකිය. වයලින වාද්‍ය ශිල්පීන් අටදෙනෙක් , දහ දෙනෙක් වයලීන වාදනය කරමින් කරනු ලබන පටිගත කිරිමක දී පවා කළණිගේ වයලිනය ඒ අතරින් වෙනස් කොට හඳුනා ගත හැකිය.

මේ සදහා මට ද පුංචි අත්දැකීමක් තිබේ. මගේ ජංගම දුරකතනයේ නාදය ලෙස තබා  ඇත්තේ කළණිගේ වයලීන වාදන දෙකකි. එක්තරා දවසක කොළඹ පැවති සංගීත නිර්මාණ දොරට වැඩීමේ උත්සවයකදී  අහම්බෙන් මෙන් මගේ ජංගම දුරකතනය නාද විය. ඒ මෙහොතේ මා අසළ සිටි ප්‍රවීන ගායන ශිල්පියෙකු මෙන්ම සංගිත අධ්‍යක්ෂවරයකු ඊට සවන් දී සිට මගෙන් ඇසුවේ 

" ඔය ඇහුණෙ කළනිගේ වයලින් එක නේ දැයි" මගෙන් ඇසීය.
"ඔව් මේක කළණිගේ වැඩක්, ඔබතුමාට කොහොමද ඒක එයාගෙම කියල හිතුනෙ?
"මේ විදියට වයලීනය ගහන්නෙ කළණි විතරයි." ඔහු හිමිහිට කීවේය.
මට මද සිනහවක් පහළ වුයේ ඒ ශිල්පියා සතුව තිබූ සංගීත දැනිම නිසාය.

සඳ හොරෙන් හොරෙන්
හොරෙන් බලා
වලා රොදක සැඟවිලා
අපේ මියුරු පෙම් කතා
අසා සිටිනවා... අසා සිටිනවා....

කඳුළු බිඳු ගලා ස‍ඳේ තුරු ලතා පුරා
සියොළඟම සැලී මගේ
නොහිම් සීතලෙන්..
ඔබේ නෙත යදී...ම්...
මහද වියරුවෙන්..

කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ වෙලී
කොපුල් තල ගැටී මගේ
සිතුම් සසලවයි..
නිවාලන්න මා....ම්...
ඔබේ සිසිලසින්...

ගේය පද: කුලරත්න ආරියවංශ
සංගිතය: ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගැයුම: ආචාර්ය පණ්ඩිත් අමරදේව

කළණි මේ වන විට වෘත්තීයමය වශයෙන් නිදහස් වයලින වාද්‍ය ශිල්පියෙකු ලෙස කටයුතු කරන අතර  සිය ජීවන මගෙහි අපූරු සටහනක්  සොඳුරු සටහනක් තබමින් මීට වසර හත අටකට පමණ පෙර "කළණි සමග වයලීනය" නමින් ගී අනුවාදන එකතුවක් නිර්මාණය කළේය. එමෙන් ම වයලින ගී අනුවාදන ප්‍රංගයක් ද බණුඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත් වීය.

සංගීතයේ විවිධ හැඩතල  සහ විවිධ බටහිර සංගීත රටා අනුව නිර්මාණය වී ඇති ජනප්‍රිය ගීත  16 ක වයලින අනුවාදන කළණිගේ මේ සඳහා ඇතුළත් කර ඇත. කළණිගේ මේ වයලින ගී අනුවාද සංගත තැටිය ද අතිවිශිෂ්ඨ නිර්මාණ එකතුවක් වන්නේ ඔහු සතුව ඇති අපූරු වයලින වාදනයේ නිපුණත්වය නිසාය.

අම්මාවරුනේ... අම්මාවරනේ..
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුරලොව සිට අත පා
ඒ කදුළැලි පිසිනා..

අම්මාවරු නැති දරුවන්නේ
සංකා දුක් කවුදෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
යම් මතු දිනයක බුදු වන්නේ
සංසාරේ මතු බුදු වන්නේ

සෙනෙහස වැඩිදා සිතද බොළඳ වේ
ලොවම ආදරෙයි කියා සිතේ
මායාවක් වි එහි තනි වු දා
අම්මා පමණයි ළඟ ඉන්නේ..
අම්මා පමණයි ළග ඉන්නේ...

ගේය පද: ධර්මසිරි ගමගේ
සංගිතය: ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගැයුම: විශාරද නන්දා මාලනී

රෝහණ ධර්මකීර්ති:

මම අස්වැන්න  තුන් වැනි සටහන තැබුවේද රෝහන වෙනුවෙනි.රෝහණ ධර්මකීර්ති 1980 දශකයේ මැද භාගයේදි ගුවන් විදුලියේ සංගීත අංශයේ සේවයට එක් වුයේ වයලින වාද්‍ය ශිල්පියෙකු ලෙසිනි. ගණිතය අංශයෙන් සරසවි වරම් ලද ඔහුට, ඔහු මහත් සේ ආදරය  කළ වයලිනය නිසා සති කිපයක් ඇතුළත සරවියේ ජීවිතය එපා විය. සරසවිය අතහැර වයලිනය තුරුලට ගත්තතේ ඔහු සතුව තිබූ සංසාර පුරුද්ට මෙනි.

රෝහණ ලංකාවෙ අද අපට සිටින දක්ෂතම වයලීන වාද්‍ය ශිල්පීන් අතරින් පළමු පෙළ වාද්‍ය ශිල්පියෙකි. ඒ වගේම රෝහණ මධුර ගී තනු නිර්මාණකරුවකු සේම, දක්ෂ සංගීත අධ්‍යක්ෂක වරයෙක් ද වේ. රෝහණගෙ සංගීත නිර්මාණ  අතර එඩ්වඩ් / නතාෂා ගැයූ සුළඟක් වී මං යනවා, දිවුල්ගනේ ගැයූ අන්දර යායේ, කසුන් කල්හාරගෙ මදකට හෝ නුඹ ඇවිත් යන්න, නෙලූ අධිකාරිගේ හන්තානේ කඳු මුදුන වගෙයි ඔබ, ප්‍රියාල් අමරසිංහ ගැයූ නටුවෙන් ගිලිහුණ පින්න මලක්  වැනි මධුර ගී තනු නිර්මාණ රැසක් ඇත .

රෝහණ වාද්‍ය ශිල්පියෙක්  වගේම ගායනයටත් සැබෑ දක්ෂයෙක්, ඉතාම විරල ගණයේ රසවතෙක්, මිතුරන් අතර අසමාන මිතුරෙකි. රෝහණ නියෝජනය කළ "මාරිම්බා" සංගීත කණ්ඩායම මෙරට අනෙක් සංගීත කණ්ඩායම් වලින් වෙස්  වූයේ රෝහණගෙ වයලීනය සංගීත සංදර්ශන වේදිකාවට පැමිණීමත් සමගයි. ප්‍රසංග වේදිකාවෙ රෝහණ රිදම් ගිටාරයේ නිත්‍ය වාද්‍ය ශිල්පියා වුවත්රිදම් ගිටාරයෙන් වගේම වයලීනයෙනුත් ලොකු වෙනසක් කළේය. අති විශාල නරඹන්නන් රැසක් එකතුවී සිටින එළිමහන් සංගීත ප්‍රසංගය විද්‍යුත් සංගීත භාණ්ඩවලින් ගිගුම් දෙන විට රෝහණ තම සුරතෙහි වූ වයලීනය හඬවන්නෙ  නටන්න රැස්ව සිටි රසිකයින් සමෝධානයට පත් කරමිනි. 

පා වෙනා නිල් වලාවේ
නදී තලාවේ රිදී ජලාසේ
ඇගේ සිනාවේ
කැළුම් සැඟවුණාදෝ..
පා වෙනා නිල් වලාවේ

දියඹ සැළෙන අරුණු පෙළක
 අතරමං වෙලා
පාලු නිල් දියේ සැරි සරා..
සොයන රුව ඔබේ
අප්සරාවියේ..
පා වෙනා නිල් වලාවේ

තුරුනු සිතක පැතුම් වැළඳ
ඈත පාවෙලා
සිහින නිම්නයේ සැරි සරා
පතන රුව ඔබේ
අප්සරාවියේ..
පා වෙනා නිල් වලාවේ

ගේය පද: කුලරත්න ආරියවංශ
සංගිතය: සරත් දසනායක
ගැයුම: ආචාර්ය පණ්ඩිත් අමරදේව

රෝහණ වයලිනය වාදනය කිරීමේදි අනුගමනය කරන්නෙ සරල ශාස්ත්‍රීය පෙරදිග සංගීතය, බටහිර සංගීතය, ජනප්‍රිය සංගීතය යන මේ සංගීත ක්‍රම තුන ම සංකලනයෙන් ඔහුටම ආවේණික වන පරිදි හදාගත් වයලින සංගීත ක්‍රමයක්. ඒක ඔහුටම අවේනික වූ ක්‍රමයක් කියා සඳහන් කළොත් එය නිවැරදියි. 

රෝහණ තමන්ගෙ ගමන් මග ආරම්භ කරන්නෙ බාහිර වාද්‍ය ශිල්ලියෙකු ලෙස ගුණදාස කපුගේගේ "කම්පන" ඒක පුද්ගල ගී ප්‍රසංගයේ වයලින වාද්‍ය ශිල්පියා ලෙස සහභාගි වෙමින්. අනතුරුව රෝහණ විරසිංහ, එච්.එම්.ජයවර්ධන,වැනි ‍සංගිතවේදීන්ට මෙන් ම නව පරපුරේ සංගිත අධ්‍යක්ෂවරුන්ට ද රෝහණගේ  වයලීනයද සිය පටිගත කිරීම් සඳහා නැතුවම බැරි අත්‍යවශ්‍ය සාධකයක් වී තිබේ.

ඇතැම් වෙලාවක රෝහණ වයලීයන වයන්නේ හඬන්නට ළංව සිටින පෙම්වතිය සිය පෙම්වතාගේ උරහිස හිස හොවා සිටින විට ඇය සනසන්නාක් මෙනි. ඒ තම උරහිසෙහි හිස හොවා හඬා වැටෙන්නට ආසන්නව සිටි සුරවමිය  සිය පෙම්බරා විසින් ආත්ම ගණනක සංසාර ගත ප්‍රේමය මුදා හරින්නට සූදානම් වන සෙයකි. ඇතැමි විට රෝහණගේ අතැගිලි දහයට සිර වී සිටි වයලීනය නම් වූ ප්‍රියම්බිකාව කෙරෙහි ඔහුගේ නෙත යාමු වී භාවනාවට මෙන් ධ්‍යාන ගතව සිටිමින් වයලිනය වයයි.

රෝහණ ද, සිය ජීවන ගමන් මගෙහි කඩඉමක් සළකුණු කරමින් "රෝහණ සමග සැඳෑවක්" නමින් වයලින වාදන ප්‍රසංග දෙකක් පැවැත් වූ අතර ම වයලින ගී අනුවාදන රැගත්  වයලීන මැවූ හීන” නමින් ගී අනුවාදන තැටියක් ද  නිර්මාණය කළේ ය. ඔහුගේ මේ ජනප්‍රිය හැඩ තල ඔස්සේ නිර්මාණය කළ ගී අනුවාදන තැටියට ද ගීත අනුවාදන  16 ක් ඇතුළත් විය. මේ වයලින ගී අනුවාද සංගත තැටියද අතිවිශිෂ්ඨ නිර්මාණ එකතුවක් වන්නේ ඔහු සතුව ඇති අපූරු වයලින වාදනයේ නිපුණත්වය නිසාය.

තරුද නිදන මහ රෑ
නිදමි මහද නිදි නෑ
මතක පොතේ කඳුළින් කටු ගෑ
කවි කියවෙයි මහ රෑ

පිනි විසිරෙන විට වටහා ගනු මැන
දෙනෙතින් කඳුළැලි ගලන තරම්
රෑහි හඬනව විට වටහා ගනු මැන
රෑ තුන් යාමේ හඬන හැඬුම්

සුළග නොවේ මේ පාවී එන්නේ
කුටියක සිරවී හෙළන සුසුම්
අතු අග පරවී බිමට වැටෙන්නේ
සමනල යුගයක පිපුනු කුසුම්

ගේය පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගිතය: රෝහණ වීරසිංහ
ඩී.ඩී.ගුණසේන, කළණි පෙරේරා සහ රෝහණ ධර්මකීර්ති සිය වයලීන  ඔස්සේ සිය ආත්මය තුළ වූ සියුම් සංවේදීත්වය අල්පැනිත්තක් පවා බිම වැටෙන විට ඇසන්නට තරම් නිශ්චලත්වයක සිටින රසික සහෘද පර්ශද ඇසෙහි කඳුළක් නංවන්නට මේ වයලීන වැයුම් සමත් ව සිටී. මේ වයලීන නාද ඔස්සේ නින්නාද දෙන්නේ ඔවුන්ගේ හදවත් හි සැගවි ඇති සියුම් සංවේදනාවන් දැයි මට  සිතේ. ඇතැම් විට ක්ෂණිකව මානසික ආතතියෙන් මිදෙන්න හොඳ අත්දුටු ප්‍රතිකර්මයක් බව මට හැඟුණ වාර අන්නතය. ඒ නිසා  මේ වයලීන ත්‍රිත්වය කෙරෙහි  මගේ හිතේ ඇත්තේ අසිමිත වූ ආදරයකි, ඇල්මකි, කිව නොහැකි තරම් සියුම් හද පිරි මදින සංගිත සුයාමයකි. ඩී.ඩී, කළණි, සහ රෝහණ වයලීන සිය පුළුලුරෙහි හොවා හීන සිත්තම් කරන්නේ ඒ අයුරිනි.෴

සටහන:
අද ලියපු පෝස්ට් එක සැහෙන්න දිගයි. වාද්‍ය ශිල්පින් තිදෙනෙක් වූ නිසාත්, තවත් කෙටියෙන් ලියන්න  කෙටි ක්‍රමයක් නොතිබූ නිසාත්, තවත් පෝස්ට් එකකට ගෙන යාමට සිත ඉඩ නොදුන් නිසාත්, මේ දිග ලිපිය එලෙසම මටහන් කළෙමි. ඒ පිළිබඳව කණගාටු වෙමි.


ලියු දේ ගැන හිතේ යම් අදහසක් රැඳුනා නම්, වෙලාවක් ඇත්නම්  එයත් ලියලම යන්න.
Related Posts Plugin for WordPress, Blogger...