එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Sunday 26 October 2014

෴ අනිත් කොණ නැවත කියවමු.෴


          



         අනිත් කොන කෘතිය ගැන විවෘත සංවාදය සිකුරාදා



පසුගිය සැප්තැම්බර් මාසය පුරාම තිබුණෙ පොත්පත් පිළිබඳ මහත් උද්යෝගයක්. පොත් දොරට වැඩුම් සහ ඒ හා සමගාමීව පැවති සම්මන්ත්‍රණවලින් නම් අඩුවක් තිබුණෙ නැහැ. අස්වැන්න  ලියන මමත් ඉඩක් ලැබුණ හැම වෙලාවකම ඒ හැම වැඩසටහනකටම සහභාගී වුණා.

ඒ පොත් දොරට වැඩුම වැඩසටහන් අතර විශේෂත්වයක් තිබුණෙ බ්ලොග් ලියන අපේ හිතමිතුරු සමූහයෙන් කිහිප දෙනෙක් මේ වසර තුළ බ්ලොග් කලාවෙන් ලේඛන කලාවට පිවිසිලා තිබුණ නිසා. ඒ නිසාම  බ්ලොග් ලියන අපේ සහෘද පිරිසට පුංචි සහයෝගයක් දෙන්න හිතාගෙන අස්වැන්නෙන් බ්ලොග් ලියන යෙහෙලියක වන වෛද්‍ය බෝධිනී සමරතුංග සොහොයුරියගේ “අනිත් කොණ“ කෘතිය ගැන පුංචි සටහනක් ලියන්න කල්පනා කළා.

 ඒ අනුව ගෙවුණ මාස කිපය තුළ මේ විදියට බ්ලොග් අවකාශයට එකතු වෙච්ච  බ්ලොග් අවකාශයේ දක්ෂතාවයන් ඇති අලුත් පරම්පරාවක් නියෝජනය කරමින් නිර්මාණකරණයේ යෙදුන බෝධිනී සමරතුංග අපේ දයාබර යෙහෙළිය, ඔබේ අපේ මිතුරිය මේ විදියට “අනිත් කොණ“ ලියන්න තරම් පන්නරයක් ලබන්නෙ ඇය එක්තරා කාල සිමාවක වෛද්‍ය  වෘත්තියෙන් මුල්ම පත්විම අරගෙන උතුරු ප්‍රෙද්ශයේ සේවයට යන නිසා. බෝධිනී තමන්ගේ මවුබස කතා කරන සහෘද පිරිසගෙන් ඈත් වුණාම ඇයට ගනුදෙනු කරන්න වෙන්නෙ වෙනත් බසකින් කතාකරන ජනතාව එක්ක. ඒ නිසාම බෝධිනිට සිදුවෙනව ඒ කාලෙ තුළ තමන්ගෙ භාෂාව එක්ක ගනුදෙනු කරන්න අන්තර්ජාලයට එකතු වෙන්න.

 අන්තර්ජාලයේ බ්ලොග් එකක් විදියට අනිත් කොණ බ්ලොග් එක අපට කියවන්න ලැබෙන්නෙ ඒ නිසා. එහෙම අනිත් කොණ පටන් අරන්  බෝධිනී ලියන්නෙ උතුරුකරේ ජනතාවගේ ජන ජීවිතය ගැන. තමන්ට නුහුරු පරිසරයක ඒ නුහුරු ජන ජීවිත එක්ක ගැවසෙද්දි ඒ ඇසුරින් ලද අත්දැකීම් ගැන. 

බෝධිනී ඒබව ප්‍රකාශ කරන්න තමන් සතු භාෂා ඥානය උපරිම ප්‍රයෝජනයට ගන්නවා. කවි ලියනව, කෙටිකතා ලියනව, පුංචි පුංචි කතන්දර ලියනව, විවිධ සංකල්පනා ලියනව මේ විදියට අන්තර්ජාලයේ බ්ලොග් එකත් එක්ක ගනුදෙනු කරල නිර්මානකරණයේ යෙදෙනව එයින් තෝරාගත් සිතුවිලි සමූහයක් එකතු කරල බෝධිනීට ඒ නුහුරු පරිසරයේ හමුවුණ මිනිසුන්ගේ සිතුවිලි ඇගෙ සංකල්පනාවලට නතු කර ගන්නව.

ඒ විදියට  බෝධිනී අනිත් කොණ බ්ලොග් එකට ලිව්ව ලිපි ටික එකතු කරල අනිත් කොණ නමින් පොතක් මේ වන විට එළිදක්වලා තියෙනව. මෙහි වැදගත්කම තමයි ඇගේ බ්ලොග් අඩවියේ නමින්ම මේ කෘතිය නම්කර තිබිම.  ලේඛිකාවක් වශයෙන් බෝධිනීට මුල්වරට බ්ලොග් පෝස්ට් කෘතියකට නැගීම ඇයට ලැබෙන අභියෝගයක් විදියටයි මම දකින්නෙ. ඒක ඇගේ ඉදිරි නිර්මාණාත්මක ගමන් ලොකු ශක්තියක් වගේම පිටිවහලකුත් වෙයි කියල හිතෙනව.

කෙනෙක්  ශාරීරිකව ලෙඩ වුණාම බෙහෙත් දෙන වෛද්‍යවරියක් වෙමින්ම  බෝධිනී තුළ සිටින ලේඛිකාව කාලාවටත් සාහිත්‍යයටත් ආදරේ කරනව. ඒ නිසාම තමයි  ඇය  බ්ලොග් කලාවෙන් ලේඛණ කලාවට පිවිසෙන්නෙ. ලෙඩට බෙහෙත් දුන්න වගේම සමාජය  රෝගී වෙලා තියෙන  රටක සාහිත්‍ය වෙනුවෙන් යම් දායකත්වයක් දීල ඒක යම් තරමකට ඉහලට ඔසවා තබන්න, මිනිස්සුන්ගෙ පරිකල්පන ශක්තිය දියුණු කරන්න, සිතිවිලි වලින් මිනිසුන්  පෝෂණය කරන්න බෝධිනී නියෝජනය කරන වෛද්‍ය ක්ෂේත්‍රෙය් සිටින සිටින රස භාව හඳුනන කලාත්මක හදවත් ඇති අයට හැකියාවක් ලැබෙනව නම් ඒක මේ රටේ රසිකයන්ගෙත් ජයග්‍රහණයක්.

ඒ නිසා වෛද්‍ය වෘත්තියේ නියැලෙන ගමන් වුනත්  සාහිත්‍යට ලේඛන කලාවට බෙහෙවින්ම ආදරේ කරල  රසවත් හදවතක් ඇති කෙනක්  විදියට බෝධිනී බ්ලොග් එකෙන්  ලේඛණ කලාවට පිවිසිලා ලේඛිකාවක් විදියට පොත් දෙකක් ලියල. අනිත් කොණ කෘතිය වැදගත් වෙන්නෙ ඒ නිසා.

 අනිත් කොණ කෘතිය ගැන නැවත විවෘත සංවාදයක් හා අදහස් දැක්විමක්  සංවිධානය වෙලා තියෙනව මේ සතියේ. ඒ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා සහ ප්‍රවින ලේඛක සහ විචාරක දයා දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ සංවාදය  තියෙන්නෙ 2014 ඔක්තෝම්බර් 31 වන සිකුරාදා සවස 4 සිට 6 දක්වා බොරැල්ල කාසල් වීදියේ පිහිටි (කාසල් රෝහල ඉදිරිපිට) ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල ආයතන ශ්‍රවනාගාරයේ. වෛද්‍ය බෝධිනී සමරතුංග සොහොයුරියගේ අනිත් කොණ කෘතිය කියවපු සහ කියවන්න අපේක්ෂාවෙන් ඉන්න සියළු සහෘද පිරිසට බෝධිනී විවෘත ඇරැයුමක් කර තිබෙනවා මෙම කෘතිය ගැන පැවැත්වෙන සංවාදයට පැමිණෙන ලෙස. ඉතින් ඔබටත් විවේකයක් සහ ඉඩක් ඇත්නම්  එන්න මේ කෘතිය ගැන විවෘතව කතාබහ කරන්න. ඒ ඇරැයුම ඔබටමයි.

Sunday 27 July 2014

෴ අපේ කාලයේ තිදෙනක් සහ පොත් හතරක් ෴





මේ සොඳුරු දඩ බිමෙහි මගේ ආදරණීය යක්ෂණීගේ සුදුහිම පළස මත මරණයේ සෙවනැල්ල යට නිදාසිටි පූස්පැටියා

ඉදිරි සතියේ අපේ කලා ක්ෂේත්‍රෙය් කලානිර්මාණ සහ කලාකරුවන්ගේ ඇගැයුම් සහ ප්‍රසංග ගණනාවක් ඉදිරිපත් විමට නියමිතව තිබෙනවා. ඒ හැම කෘතියක්ම  කාලිනව සලකා බලන විට ඉතාමත් වැදගත් . පොතක් දොරට වැඩුමක් හෝ නිකුත් කළ  පොතක් ගැන නැවත කතිකාවක් ඇතිවෙනව කියන්නෙ  ලේඛකයකු හෝ ලේඛිකාවක ජීවිතයේ අත්විඳින සුන්දරම මොහොතක්. සිමිත පාඨක පිරිසක් සමග එකතුවෙලා සුන්දරම කතාබහක නියැලෙන්න පාඨකයන්ගෙ අදහස් දැනගන්න ඔවුන්ට ලැබෙන හොඳම අවස්ථාවක්. එවන් කතාබස්වලදී ඔවුන්ගේ නිර්මාණවලට පිටිවහලක් වෙන්න අපිටත් යම් තරමකින් අවස්ථාවක් ලැබෙනව ඒක පාඨකයො විදියට අපටත් ලැබෙන අපූර්ව අවස්ථාවක්. එවන් වූ අපූර්ව සැඳෑවන් කීපයක් ඉදිරි දෙසතියේ කොළඹ දී අපට උදාවෙනව. මුහුණුපොතේ අපට නිරතුරු හමුවන මේ සුන්දර හදවත් ඇති තිදෙනා වෙන්නෙ අපේම කාලයේ සහෘදයන් දෙදෙනෙකුගේ සහ සහෘදිනියක්.  මේ අභිනව නිර්මාණ එළිදැක්වීම්  සහ එළිදැක්වූ කෘතින් පිළිබඳ ඇතිවන කතාබහ පාඨඛ අපට වැදගත් වගේම අපෙනුත් ඒ සහෘදත්වයට පෙරළා කෘතගුණ දැක්විමක් ලෙස  අස්වැන්නෙන්  වැඩසටහන් පිළිබද සඳහනක් කරන්න කල්පනා කරමි.

මගේ ආදරණීය යක්ෂණී කැටුව එන  සාහිත මධු සාදය

සංස්කෘතික විමුක්ති ගිවිසුම  විසින් සංවිධානය කෙරෙන  සාහිත මධු සාදය සිව්වැනි පියවර  පිටුවහල් කළ යක්ෂ අනෙකාට ආදරෙන් මැයෙන් මෙම ජූලි මස 29 වැනිදා සවස බොරැල්ල නාමෙල්-මාලිනි පුංචි තියටර්හි පැවැත්වෙනව. මෙවර මේ වැඩසටහනේදී මහජන සම්භාෂණගත වනුයේ අපේ හිත මිත්‍ර  මංජුල වෙඩිවර්ධන සොහොයුරාගේ දෙවැනි නවකතාව වන ‘මගේ ආදරණීය යක්ෂණී‘‘ කෘතියයි.

ජූලි මස 29 දින පැවැත්වෙන මෙම සම්භාෂණයේදී මංජුල වෙඩිවර්ධන සොහොයුරාගේ ‘මගේ ආදරණීය යක්ෂණී‘‘ කෘතිය පිළිබදව සුමිත් චාමින්ද, කුමාරි කුමාරගම, මනෝහාරී හේවාවසම්, විදර්ශන කන්නන්ගර, ප්‍රභාත් හේමන්ත කුමාර, උදුල් ප්‍රේමරත්න, චින්තන ධර්මදාස, සාලිය ඉඳුරුවිතාන, බාසුරු ජයවර්ධන සහ ප්‍රභාත් කුමාර දේශප්‍රිය විසින් කෙටි කථන පවත්වනු ලැබීමට නියමිතය. මෙදින, මෙම පැවැත්වෙන කතාබහේ සියලුම කථන ඇතුළත් පුස්තිකාවක් එළිදැක්වීමටද
සංස්කෘතික විමුක්ති ගිවිසුම කටයුතු යොදා ඇති බව දන්වා තිබේ.  

මංජුලගේ ‘මගේ ආදරණීය යක්ෂණී‘‘ පිළිබඳව  මෙම මහජන සම්භාෂණ සභාව මෙහෙයවෙන්නේ කුෂාන් ගයාත්‍ර විසිනි.  මෙහිදී, කෘතියේ එන කාව්‍යමය රචනා කිහිපයක් ශාක්‍ය වීරසිංහ විසින් සත්සර හා මුසුකොට සහෘදගත කිරීමට නියමිතය. මේ වැඩසටහන තියෙන්නෙ ජූලි මාසෙ 29 වෙනිදා.


මංජුල වෙඩිවර්ධන  සහ සනත් බාලසූරිය ගැන තවත් සොඳුරු සැඳෑවක්

ඒ වගේම මංජුලගේ ‘මගේ ආදරණීය යක්ෂණී‘‘ කෘතිය පිළිබඳව සහ සනත් බාලසූරිය විසින් රචිත මේ සොඳුරු දඩබිමෙහිනවකතාව, මරණයේ සෙවනැල්ල යට නිදාසිටි පූස්පැටියා කෙටි කතා සංග්‍රහය පිළිබඳව තනත් කතාබහක් ඊට පසු දින එනම් ජූලි මස 30 වෙනිදා සවස පැවැත්වෙනව. ඒ “පිටුවහල කොළඹට“ මැයෙන්

සනත් බාලසූරිය විසින් රචිත මේ සොඳුරු දඩබිමෙහිනවකතාව, මරණයේ සෙවනැල්ල යට නිදාසිටි පූස්පැටියා කෙටි කතා සංග්‍රහය සහ මංජුල වෙඩිවර්ධන විසින් රචිත මගේ ආදරණීය යක්ෂණී නවකතාව කේන්ද්‍රකර ගත් සාහිත්‍යමය කතිකාවත පිටුවහල කොළඹටමැයෙන් ජූලි මස 30 වැනිදා බදාදා සවස 3.00ට කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණඩලීය ශ්‍රවනාගාරයේදී පැවැත්වේ. ලෝක පිටුවහල් සාහිත්‍යය සහ ලාංකේය පිටුවහල් සාහිත්‍යයමැයෙන් වන මෙහි මුඛ්‍ය දේශනය කේ.කේ. සමන් කුමාර විසින් පවත්වනු  ලබයි.

සෙසු කෙටි දේශනමේ සොඳුරු දඩබිමෙහි යථාර්ථය සහ විචාරයේ මායා යාථාර්ථයමැයෙන් අනුරසිරි හෙට්ටිගේ විසින්ද , ‘ලාංකේය ප්‍රොකෘස්තියානුවන් පිටුවහල් කළ මගේ ආදරණීය යක්ෂණීමැයෙන් බාසුරු ජයවර්ධන විසින්ද , ‘මහපාරේ නිර්මාණ අභියෝගය හෙවත් මරණයේ සෙවනැලි යට පූස් පැටව්මැයෙන් ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර විසින් ද පවත්වනු ලබයි. මෙම සාහිත්‍ය කතිකාවත මෙහෙයවෙනු ලැබෙන්නේ මොහාන් රාජ් මඩවල විසිනි.

මගේ ආදරණීය යක්ෂණී‘‘ ගැන කතා කරන්න ඒ සුන්දර කතාබහට එකතු වෙන්න මංජුල වෙඩිවර්ධන මිත්‍රයාත් මේ සොඳුරු දඩබිමෙහිනවකතාව, ‘මරණයේ සෙවනැල්ල යට නිදාසිටි පූස්පැටියා කෘතීන් ද්විත්වය  ගැන කතා කරන්න සනත් බාලසූරිය මිත්‍රයාත් දුර ඈත දේශයක සිට හෝ විද්‍යුත් තාක්ෂණයේ මහිමයෙන් හෝ මේ සුන්දරම සැන්දෑවන් සමග ඒකාත්මික වෙයි කියල මටම හිතෙනවා.


සුදු හිම පළස සමගින් අප හමුවට එන පුෂ්පා රම්ලනී

කවියට ගීතයට කෙටි කතාවට මෙන්ම පරිවර්තනයටද පෙම්බඳින පුෂ්පා රම්ලනී අපට සිටිව තවත් ප්‍රවීණ ලේඛිකාවක්. ඇය වසර පහක් තිස්සේ ඉස්ලාම් ආගමේ මූලධර්මවාදීන්ගේ නිජබිමක් වූ  ඇෆ්ගනිස්ථානයේ සේවයේ යෙදී සිට ලැබූ ජීවන අත්දැකීම් සියල්ල එකට එකතු කරමින්  බුර්කාවෙන් වැසුණ ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ගේ දුක්බර ජීවිත වල අභ්‍යන්තරය ගැන   ඇයගේ මතක සටහන් සියල්ල හෘදයාංගම ලියවිල්ලක් විලස  පාඨක හමුවට රැගෙන එනව. ඒ සංවේදී කෙටිකතා දොළහක් ඇතුළත්  “සුදු හිම පළස“ කෙටිකතා සංගහයෙන්.

ඒ අනුව අෆ්ගනිස්තානයේ මුස්ලිම් අන්තවාදීන්ගේ ග්‍රහණයටත් දැඩි පීඩාවටත් පත්වන ඇෆ්ගන් කාන්තාවන්ගේ අමිහිරි ජීවන අත්දැකිම් සියල්ල අතුරින් යම් තරමක් පුෂ්පා රම්ලනීගේ මේ කෘතිය හරහා දැනගන්න පුළුවන් .

සුදු හිම පළස ජනගත වන සැඳෑව යෙදී තිබෙන්නේ 2014 අගෝස්තු මස 07 කොළඹ 7, ජාතික පුස්තකාල හා ප්‍රෙල්ඛණ සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී සවස තුනට . ඇගේ සුදු හිම පළස කෘතිය පිළිබඳව පියල් කාරියවසම්, සුමිත්‍රා රාහුබද්ධ සහ ගාමිණී වියන්ගොඩ යන වියතුන්ගේ විද්වත් කතිකාවක් ගොඩනැගෙනව. කරුණා පෙරේරා මුලසුන හොබවන මේ වැඩසටහන මෙහෙයවිම සමන් අතාවුදහෙටිටිගෙන්.  කාලෙකට පස්සෙ සුදු හිම පළස කෙටිකතා එකතුවෙන් අප හමුවට එන පුෂ්පා රම්ලනී සමග සුන්දරම කතාබහක් ගොඩනගන්න මේ අපූරු හැන්දෑවට ඔබටද සහභාගි වෙන්න පුළුවන්.



මේ සොඳුරු දඩ බිමෙහි මගේ ආදරණීය යක්ෂණීගේ සුදුහිම පළස මත මරණයේ සෙවනැල්ල යට නිදාසිටි පූස්පැටියා දකින්න කියවන්න විඳින්න ඉඩක් ඇත්නම් ඔබත් එන්න මේ සොඳුරු සැඳෑවන් සැබෑ ලෙසම විඳගන්න. මේ ඇරැයුම ඔබටමයි.



මේ අපේ සහෘදයන් තිදෙනා වෙනුවෙන් කළ පුංචි දැනුම් දීමක් පමණි. කමෙන්ටුවක් අපේක්ෂා නොකරමි.


Wednesday 18 June 2014

෴ නුවරකලාවියෙන් හමා ආ මී මල් සුවඳ෴






මහින්ද දිසානායක රජරට පුරෝගාමී ගිත රචක පරපුරේ විසල් නුග රුකකි. රජරට සේවය හරහා බිහිවූ රජරට ගීත සාහිත්‍යයේ සරුසාරම ගී අස්වැන්නේ හිමිකරුවා ඔහු ය. රජරටම ඉපිද රජරටම නිහඬ දිවියක් ගෙවන මහින්ද දිසානායකයන් ගීතයේ සාහිත්‍යමය රසය පිළිබඳව වැඩියෙන්ම උනන්දුවී නිර්මාණකරණයේ යෙදන ගීත රචකයෙකි. තමන් අතින්  ලියැවෙන හැම ගීයතක්ම සාහිත්‍යමය අතින් පෝෂණය කර රසික සවන්පත් අතර රඳවන්නට වැඩිම කැමැත්තක් දක්වයි.  මහින්ද දිසානායකයන් අතින් ලියැවුණ ජනප්‍රිය ගීත රැසකි. ඒවා ඔහු අතින් ලියැවුණ ගීත බව දන්නේ ඉතාමත් සුළු පිරිසකි. මේ වන  ගීත හාරසියයකට ආසන්න ප්‍රමාණයක් ලියා ඇති මහින්ද දිසානායකයන්  ඇසට අසුවන මායිමේ (1994 රාජ්‍ය සාහිත්‍ය සම්මාන), වී පැදුරෙන් (2001) සහ බැන්ද අමුණ (2010) වශයෙන් ගීත රචනා කෘති 03 ක් ලියා පළකර ගිතයේ සාහිත්‍යමය පැත්ත පෝෂණය කර ඇත.

මහින්ද දිසානායකයන් 35 වසරක් පුරා නිර්මාණකරණයේ නියැලෙමින් සිට ඒ මහා ගී ගඟුලෙන් ගීත 72 ක් තෝරාගෙන ගී තැටි (සීඩී) 04 ක් පසුගියදා නිර්මාණය කර එළිදැක්වී ය. මහින්ද දිසානායකයන් ඒ මධුර ගීතාවලිය ඇතුළත් සීඩී 04 නම් කර ඇත්තේ “ආවාදෝ සංසාරේ, පින්සර ඔබ හැර, කුරුලු රුවින් සහ සුනිල දියේ“ යනුවෙනි.  මේ ගීත 72 ක ඇතුළත් සංගත තැටි හතර මහින්ද දිසානායකයන්ගේ ගී පද රචනාවල අග්‍ර ඵලයයි.

නිර්මාණ එළිදැක්වීම්, දොරට වැඩුම් කොතෙකුත් තිබියදී නිහඬව ම සිදු කළ මේ නිර්මාණ එළි දැක්ම පිළිබඳ මා කලින්ම දැන සිටි නිසා කුමක් හෝ සටහන් ඒ වෙනුවෙන් තැබිය යුතු යැයි කල්පනා කරමි‍. කලාකරුවකු වශයෙන් ජනප්‍රියත්වය හඹා නොගොස් කරන මෙවන් නිර්මාණාත්මක  කටයුතුවලට සහෘද රසිකයන් වශයෙන් අපගේද සහයෝගයක් දිය යුතු බැවින් මේ ගී තැටි 04 අරමුණු කරගෙන මේ සටහන අද අස්වැන්නෙන් තබමි.

මහින්ද දිසානායකයන්ට සිය ගීතාවලියෙන් ගීත 72 ක් තෝරාගන්නට අපහසු වූවා සේම දින ගණනක් තිස්සේ නිරන්තරයෙන් මේ ගී එකතුව ඇසූ මටද අස්වැන්නට යොදා ගැනිමට  ඒ ගිත අතරින් ගීත කීපයක් තෝරාගැනීම ඉතාමත් අසීරු කරුණක් ම විය.  මහින්ද දිසානායකයන් ලියූ ජනප්‍රිය ගීත අන්තර්ජාලයෙන් සොයාගත හැකි නිසා කලාතුරකින් අහන්නට ලැබෙන, එසේම නිරන්තරයෙන් අහන්නට නොලැබෙන  ගීත කිපයක් මේ සටහනට ඇතුළත් කර ඔබට අසන්නට සලස්වමි.

මහින්ද දිසානායක අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ සිංහල විෂය භාර ගුරුවරයෙකු ලෙස දීර්ඝ කාලයක් ගුරු වෘත්තියේ නියැලෙමින් අනතරුව උතුරු මැද පළාතේ සිංහල විෂය පිළිබඳ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරයකු ලෙසද කාලයක් කටයුතු කර විශ්‍රාම ලැබීය.

මහින්ද දිසානායකයන් 1979 දී රජරට සේවය ඇරඹීමෙන් පසු රජරට සේවා නිර්මාණ පුනරුදයෙන් නවක නිර්මාණකරුවන්ට ලැබුණ අත්වැල ඔස්සේ අබිසෙස් ලැබූ ගීත රචකයෙකි.
නදින් බමර ගී සරින් පිරුණු විල්
තෙරේ පවන වැලපේ
නිලින් බැබලි තුරුලතා පිපුණු හිම
පෙනේ ඉපල් ලෙසිනේ

ගී පද : මහින්ද දිසානායක / සංගීතය: සිරිල් පෙරේරා / ගැයුම: කරුණාරත්න දිවුල්ගනේ

මේ  මහින්ද දිසානායකයන් අතින් ලියැවුණ පළමු ගී පදමාලාවයි. රජරට සේවයේ නිර්මාණය වූ නව පදමාලා සංගීතමය වැඩසටහනකට එය එදා ගැයුවේද නවක ගායකයෙක් වශයෙන් දිවුල්ගනේ ය. දිවුල්ගනේ සහ මහින්ද දිසානායක නාමයන් මුල්වරට  සංගීත ක්ෂේත්‍රෙය් සටහන් වන්නේ ඒ අයුරිනි. එදවස රජරට සිටි මට දිවුල්ගනේගේ ඒ මුල්ම ගීතය තවමත්  මනසේ නින්නාද දෙන ගීයකි.  ඒ අයුරින් ගීත රචනයට පිවිසි මහින්ද දිසානායකයන් අනතුරුව රටම දන්නා ගීත රචකයෙකු බවට පත්වන්නේ රුවක් ඇදෙනවා කවුදෝ එනවා ගීතය ඔස්සේ ය.

                   (1)     ඇසට අසුවන මායිමේ
                             බමර සැණකෙළි මල් විලේ
                             ළසෝ ලැව් ගිනි ඇවිලුණා සිත
                             ඹබ මගෙන් වෙන් වූ දිනේ

                (2)        පින්සර ඔබ හැර පිළිබඳ
                             සිතුවිලි වෙනතක දලුලා දෝ
                             ඔබ ගැන මා ගැන මතකය
                             අමතක කරන්න පුළුවන් දෝ

 මේ ආදී වශයෙන් මහින්ද - කපුගේ - දිවුල්ගනේ සුසංයෝග වෙමින් එකල එක පෙළට ගී රැසක්  නිර්මාණය විය. මේ සියල්ලම රසාලිප්ත ගීත වශයෙන් ගීත සාහිත්‍යයට ඇතුළත් වී තිබේ.

නිර්මාණකරුවාගේ අරමුණ විය යුත්තේ සිය අත්දැකීම් සහෘදයන්ගේ සංවේදනයට පාත්‍රවන අයුරින් නිර්මාණකරණයේ නියැලීමයි. පළමුව නිර්මාණකරුවා වඩාත් සංවේදී පුද්ගලයෙකු බවට පත්විය යුත්තේද එවන් අවස්ථාවක සිය සහෘදයා බවට පත්විමට තරම්  නිවුණු සිත් ඇත්තෙකු විය යුත්තේද  ඒ නිසා ය. මිහන්ද දිසානායකයන් අපට හමුවන්නේ සහෘද සිත් සංවේදනයට පාත්‍ර කරන එබඳු නිර්මාණකරුවකු වශයෙනි.

ඔහු ගීත රචනයේදී තවත් නිර්මාණකරුවකුගේ  ඇසට හසු නොවූ අපූර්ව අනුභූතින් සොයාගනී. ඇතැම් විට එතුමාගේ පරිකල්පන සිතුවිල වලට හසුවන ඒ අනුභූතින් වල අක්මුල් සොයා යද්දී අපට හමුවන්නේ ඒ අනුභූතියේ මූලාශ්‍රය බෞද්ධ සාහිත්‍ය, සංස්කෘත සාහිත්‍ය, සම්භාව්‍ය සිංහල සාහිත්‍යය හෝ ජනකවි සාහිත්‍ය ඇතුළු අපගේ චිරන්තන සාහිත්‍යයෙන් පෝෂණය වූ අතීත අනුභූතින් බවයි. අපේ ඒ චිරන්තන සාහිත්‍ය මනාව පරිශීලනය කරමින්  සහ ගවේෂණය කරමින් මහින්ද දිසානායකයන් ඒ ඔස්සේ වර්තමානයට ගැලපෙන  නැවුම් අනුභූතින් සපයාගනී.

නිදසුනක් ලෙස මතු දැක්වෙන ගීතය අසා බලන්න. අතිශයින් සරල සුන්දර අත්දැකීමක් වුව ගීතයෙන් ගොඩනැගෙන්නේ නැවුම් වටපිටාවකි. ප්‍රේමයේ අපූර්වත්වය කියා පාන්නට පසුබිම හදාගන්නේ රජරට ගැමි පරිසරයයි.  බැන්ද අමුණු ඇල වේලි බහුලව හමුවන්නේ රජරට ප්‍රදේශයෙනි. එහෙත් මහින්ද දිසානායකයන් ඒ පරිසරයේ සිටිමන් බැන්ද අමුණ හසුකරගන්නේ ඔහුගේ ගීතයේ ප්‍රේමාන්විත සංකල්පයක් විදහා දක්වන්නටය.

බැන්ද අමුණ විලක් වුණේ
මලක් පිපුණු දාක
මගේ හිතේ මල් පිපුණේ
ඔබ හමුවුණු දාක

කෙන්ද කන්ද වෙන්නෙ හිතේ
වැඩි ලෙංගතු කමට
සිතිවිලි කන්දකි ඔබ ගැන
කියමිද වෙන කාට

මලින් මලට වෙනස වෙසෙස
හැඩය සුවඳ පාට
මලේ මහිම හැඳිනිය හැකි වෙද
ඔබ හැර වෙ කාට

ගී පද මාලාව: මහින්ද දිසානායක
සංගිතය: නවරත්න ගමගේ
ගැයුම: දිස්නා අතපත්තු

                     

ගීත රචනයේදී තමා වෙත එළඹෙන්නේ ප්‍රවීන ශිල්පියෙක්ද නැති නම් නවකයෙක්ද යන්න මහින්ද දිසානායකයන්ට වෙනසක් නැත. තමා වෙත ගීතයක් ලියා ගැනිමට එන කවරෙකුට වුව වඩාත් හොඳ සාධාරණයක් මහින්ද දිසානායකයන් අතින් ඉටුවේ. ගීතය රසික හදවතට සමීප කරවන්නේ  ගයකයා හෝ ගායිකාව වන නිසා ඔහු හෝ ඇය කවරකු වුවද ඔහුට හො ඇයට ගැයිමට ලැබෙන පදමාලව සාහිත්‍යමය අතින් පිරිපුන් ගීතයකි.

ගීතයේ පදමාලාව  සාහිත්‍යයෙන් පෝෂණය වූ විට එහි සංගීත නිර්මාණය හෝ ගායන පාර්ශවය නිතැතින්ම සාර්ථක වන බව මහින්ද දිසානායකයන් අතින් ලියැවුණ ගීත හොඳම නිදසුන් සපයයි. ඒ නිසා මහින්ද දිසානායකයන් අතින් ලියැවෙන ගීයක් නිතැතින්ම සාර්ථක ගීයක් බවට පත්වේ. මේ  ගී පදමාලා වල ඇති සාහිත්‍යමය ගුණය සහ කාව්‍යමය ගුණය ඔහු සතු භාෂාමය හැකියාවේ මෙවලම් ය. නිරන්තරයෙන් නෑසුනත් මේ ගී ඊට කදිම නිදසුන් සපයන්නේ ඒ නිසා ය. මේ මතු දැක්වෙන ශිල්පියාගේ නම අපට හුරු පුරුදු නොවූවද එහි ඇති ගීතවත් බව හඳුනාගන්නට අපහසු නොවේ.

පෙම් රැහැනින් මා වෙලන්න
ඔබෙ සෙවනේ මට හිඳින්න
මම ආසයි ඔබත් සමග
                             මේ දිවි මග එකට යන්න

මගෙ ආදර විල් ජලයේ
නිල් මානෙල් මලක් වෙන්න
රේණු සලා මල් මුවරද
සිහිල් දියට එක් කරන්න

මම රැය නම් ඔබ පුර හඳ
සිත් අහසේ නැගී එන්න
සඳ සිහිලේ තැවුල් නිවා
රැයත් සමග මැකී යන්න

ගී පද මාලාව: මහින්ද දිසානායක
සංගිතය: එච්.එම්.ජයවර්ධන
ගැයුම: අජන්තා නාකන්දල

                             
මහින්ද දිසානායකයන්ගේ අතින් ලියැවුණ මෙවන් සොඳුරු මිහිරැති ගී පදවැල් අතර සිරවුණ කපුගේ - දිවුල්ගනේ- මහින්ද සුසංයෝගය කෙබඳු එකක් දැයි වටහා ගන්නට මේ ගිත තැටි 04 ප්‍රමාණවත් ය. මේ ගී තැටි වලින් වැඩිම ගීත ප්‍රමාණයක සංගීත නිමැවුම් කරුවා කපුගේ ය. මේ තැටිවල වැඩිම ගීත ප්‍රමාණයක හඬ මුසුව දිවුල්ගනේ ගෙනි. ඒ සා විශාල ගී ප්‍රමාණයක මේතරම් සුවිසල් සහසම්බන්ධතාවය ගොඩනැගෙන්නේ රජරට සේවය හරහාය. රජරට සේවය ප්‍රාදේශීය ගුවන් විදුලියක් වශයෙන් ගොඩ නැගෙන්නට මෙවන් ගිත සාහිත්‍යයක අඩිතාලම සඳහා මහින්ද දිසානායකයන්ගේ දායකත්වය අමතක කළ නොහැකිය. ඒ නිසාම කපුගේ - දිවුල්ගනේ - මහින්ද සහසම්බන්ධතාවය කොතරම් දුරට විහිදුන දැවැන්ත වෘක්ෂයක් වන්නේද යන්න මතු දැක්වෙන ගීතවලින් අවබෝධ කරගත හැකිය.

 “ඇසට අසුවන මායිමේ,  රුවක් ඇදෙනවා කවුදෝ එනවා, ස‍ඳේ සොමිගුණ, කුරුලු රුවින්, පින්සර ඔබ හැර, බිළිඳු පුතණුවන්, මුදු මුහුණේ සුව දැනුණේ, ඔබේ සෙවන මට නිවනක්, රමණිය වූ මරණීය වූ ජීවිතේ,“  ආදි ගිත ඊට නිදසුන් ය. මීට අමතරව වෙනත් සංගීත වේදීන්ගේ  සංගිතයට ගැයූ මහින්ද - දිවුල්ගනේ සංයෝගයෙන් බිහිවූ ගීත ප්‍රමාණය මිට වඩා වැඩිය. 

ඒ නිසා කපුගේ - දිවුල්ගනේ - මහින්ද සම්බන්ධතාවයේ  රුවගුණ දැක්වෙන එකදු ගීතයක් හෝ මීට එකතු නොකළ හොත් එය අඩුවක් වනු ඇති බව මටද දැනේ. එහෙයින් ඔබ කොතෙකුත් අසා ඇතත් මේ ගීතය මෙහි සටහන් කර තබමි.

නෙතට උළෙලක් විය එදා ඔබ
කඳුළු බිඳුවක් වුව මෙදා
මේ තරම් හිත පාරවන්නට
මගෙන් වරදක් වුණිද මන්දා

ඔබෙන් තොරවූ ලෝකයක් ගැන
හිතන්නටවත් හොහැකි හින්දා
ඔබේ සිත වෙන අතක රන්දා
එපා දුක ගෙන එන්න කැන්දා

ඔබේ රුව රසඳුනක්  වුවට
කමක් නෑ මට තවත් ඇසකට
නමුදු ඒ රුව තවත් කෙනෙකු‍ට
අයිති වනු බෑ දරාගන්නට

ගී පද මාලාව: මහින්ද දිසානායක
සංගිතය: විශාරද ගුණදාස කපුගේ
ගැයුම: කරුණාරත්න දිවුල්ගනේ

                  
මහින්ද දිසානායකයන් සිංහල ගීතයට තිස්පස් වසරකට ආසන්න කාලයක් පුරා ලබාදුන් දායකත්වයේ  සාරවත්ම අස්වනුව වන්නේ මේ සංගත තැටි හතරය. ඒත් මීට කලින් ගිතයේ සාහිත්‍යමය පැත්ත පෝෂණය කිරීම සඳහා  ඔහු විසින් ලියා පළකළ කෘතීන් දායක වූවා සේම, ගීතය පිළිබඳ උනන්දු වන එය එසේ රස විඳින්නට කැමති, ගිතය ගැන හදාරන  රසිකයන්ට මහින්ද දිසානායකයන් නිර්මාණය කළ “ආවාදෝ සංසාරේ, කුරුළු රුවින්, පින්සර ඔබ හැර සහ සුනිල දියේ”  නමින් නම්කර ඇති මේ සී ඩී 04 රසිකයන්ගේ ගීත වශයෙන් ඇසීමට තිබූ ඒ අඩුව පුරවන්නට සමත් වනු ඇත.

නිර්මාණකරුවකුගේ අරමුණු දෙකකි. එහි පළමු වැන්න යථාර්තය නිරුපණය කිරීමයි. එයින් පවතින සමාජය සහ එහි පසුබිම වගේම යහපත් මිනිස් ජීවිතයක් ගතකරන්නට බාධා පමුණුවන දේශපාලනය, ආර්ථික සහ සාමාජීය ගැටලු යථාර්ථය නිරූපණයේදී නිර්මාණකරුවා අතින් කලාත්මකව ප්‍රති නිර්මාණය එහි දෙවැන්න හැඟීම් පෝෂණය කිරීමයි.  හැඟීම් පෝෂණය කිරීමේදී ඒ හා සමානවම රසිකයා හැඟීම් වලින් පිරපුන් සහෘදයෙකු  බවට පත්කරයි. බුද්ධිමත් රසික පාර්ශවයක් බිහිවන්නේ ඒ ඔස්සේය. හැඟීම් නිවැරදි අයුරින් ග්‍රහණය කරගත් මිනිසුන් හමුවන්නේ ඒ ඉසව් වලදීය. ආදරය ප්‍රේමය, දුක වැනිහැඟීම් වඩාත් සංවේදී ලෙස ග්‍රහණය කර ගැනිමට යමෙකු පොළඹවන්නේ මේ ක්‍රියාදාමයයි. මහින්ද දිසානායකයන් අතින් සිදුවන්නේ මිනිස් හැඟීම් ගීතයෙන් පෝෂණය කිරීමයි.

ආදරය, ප්‍රේමය වැනි කාරණාවලදී ඇතිවන බැඳීම් සහ බිඳ වැටීමෙන් ඇතිවන තැවුල් කාටත් පොදුය. බැඳීමක් බිඳ වැටුණු පසු  යළි කිසිදාක එකතු නොවනු ඇති සේම එවන් බිඳ වැටීමක්  පවා සතුටු සිතින් විඳගන්නටත් එතෙක් කල් වින්ද ආදරයේ අගය රැකගන්නටත් මහින්ද දිසානායකයන්ගේ බොහෝ ගීත අපට කියා දෙයි. අද දවසේ අපට නෑසෙන්නේ මෙබඳු සංකල්පනාවන් ය.

ඔබට එපා වන්නට පෙර
සමුගන්නට ඇත්නම් මට
සතුටු සිතින් මතු දවසක
අප හමුවේවි

සුවඳ හමන මලක් වෙලා
තුරුලිය මුදුනක පිපුණොත්
අත දිගුකර නෙලාගන්න
ඔබට හිතේ වී

පවසට පැන් පොදක් වෙලා
රුදු කතරක මතු වූවොත්
අහක නොදා දෝතින් ගෙන
බොන්න හිතේවී

ගී පද මාලාව: මහින්ද දිසානායක
සංගීතය: දර්ශන රුවන් දිසානායක
ගැයුම: ඇනස්ලි නානායක්කාර

                           
මේ ආකාරයට ආදරය, ප්‍රේමය, දුක සංතාපය පමණක් ‍නොව පරිසරය, සොබාදහම, බෞද්ධ දර්ශනය,  ආදී විවිධ තේමාවන්  ඔස්සේ දිග හැරෙන ගීත 72 කින් යුතු මේ ගිතාවලියේ ඔබට අසා හුරුපුරුදු  ගීත අතර හෙළැඹුල් මදහස, සුනිල දියේ, සොඳුරු වූ මිනිසා, දෙබැම දේදුණු ( අමරදේව), හිමි දෙසු බණ ( වික්ටර්), කරුණාරත්න දිවුල්ගනේගැයූ ඉහත දැක්වූ ගීත,  වී පැදුරෙන්, මගෙ ආදර පවසට ( ක්‍රිශාන්ත එරන්දක) ගම්මානේ සුවඳ ( ජානක වික්‍රමසිංහ) රුවක් ඇදෙනවා, ආවාදෝ සංසාරේ, දියාලුවෝ, මා හඹා ගිය සම්පතක්, කුරුලු රුවින්, ලිහිණියෝ (කපුගේ) ඔබ අසා සිටී නම් , මං නැති දා ( නෙලූ අධිකාරී) ආදී ගිත මෙන්ම සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, අමරසිරි පීර්ස්, මාලනී බුලත් සිංහල, නන්දා මාලනී, නීලා, අබේවර්ධන බාලසූරිය,  දීපිකා, චන්දන, නිරෝෂා, ශානිකා, සෝමතිලක ජයමහ, සනත් ටී.එම්, කිත්සිරි,  බන්දුල විජේවීර, සේනානායක වේරලියද්ද සහ චන්ද්‍රසේන හෙට්ටි ආරච්චි ගැයූ කිසිදා මතකයෙන් බැහැරව නොයන ගී මාලාවක් මේ තැටි හතරට සංගෘහිත වී තිබේ.

මෙම ගී තැටි 04 මහින්ද දිසානායකයන්ගේම නිෂ්පාදනයක් වන අතර දැනට මරදානේ සුරස පොත් හලෙන් ද, නුගේගොඩ සරසවි පොත් හල ඇතුළු සියලුම සරසවි පොත්හල්වලින්ද, නුගේගොඩ සීමාසිහිත සිංග්ලංකා සමාගමෙන්ද ඔබට ලබාගත හැකි ය. මේ ගිත තැටි ගැන හෝ මේ ගී ගැන වෙනත් විස්තර හා තොරතුරු දැනගැනිමට අවශ්‍යවන්නේ නම්

                                               මහින්ද දිසානායක
                                               අංක 3064 , තුන්වන පියවර,
                                               අනුරාධපුරය

යන ලිපිනයෙන් හෝ දුරකතන අංක 025 2235050 මගින් හෝ 0779205557  ඔස්සේ අදාල තොරතුරු ලබාගත හැකිය. විද්‍යුත් තැපැල් මගින් විමසන්නේ නම්  gayaman@gmail.com  විමසිය හැක.

                              ආවාදෝ සංසාරේ මා හා බැඳී
සැමදා  පෑහී මාගේ සෙවනැල්ල සේ

ඔරුවක් පා වුණා පාලුවේ සාගරේ
මගියෙක් යැ වුණා සීරුවේ සීතලේ
මිහිරේ ගී ගැයුණාවේ
තනිය නසා - තනිය නසා

කතරේ වාලුකා පෑයුමෙන් වේලුනා
වැහැලා ඒ බිමේ මී මලක් පීදුනා
සිහිල ලබා සිහිලැල්ලේ
නිවී ගියා - නිවී ගියා

ගී පද මාලාව: මහින්ද දිසානායක
සංගීතය: විශාරද ගුණදාස කපුගේ
ගැයුම: විශාරද ගුණදාස කපුගේ

                   














Related Posts Plugin for WordPress, Blogger...