එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Sunday 16 February 2014

෴ විජය ; සිනමාවේ හිත හොඳ අවංක පෙම්වතා ෴






“බාර් එකක්. අභ්‍යන්තරය රාත්‍රී 8.00 ට පමණ.මද විදුලි ආලෝකයේ තවත් තුන්දෙනෙක් සමග මේසයක් වටා වාඩි වී බිබී ඉන්නවා. ඔවුන්ගෙන් දෙන්නෙක් චන්දරේගේ  පාසල් මිත්‍රයෝ...


1 වැන්නා: උඹල දිගටම එකටද හිටියෙ

2 වැන්නා: (තුන් වැන්නා දිහාට මූණ හරවමින්) මූ අටේදි අස්වුණා.... මට මතකයි ඒ කාලෙ (තුන් වැන්නාගෙන්)...... හතේදි නේද? කැප්පෙටිපොල  ගැන වාක්‍ය රචනයක් ලියන්න කිව්වෙ?

ගුරුවරයා කලු ලෑල්ලෙ මාතෘකිව ලියන විලාසය 2 වැන්නා අභිනයෙන් දක්වනවා

මූ ( චන්දරේ දෙසට ඇඟිල්ල දික්කරමින්).... ලිව්ව....... “බෙහෙවින්ම ගම්බද පෙදෙස්වල වැවෙන දෙපැත්ත බූව සහිත කොල විශේෂයකි” කියල.

1 වැන්නා:   (හිනැහෙමින්)  මිනිහ ලියල තියෙන්නෙ කැප්පෙටි කොල ගැන.

3 වැන්නා: අපි අපේ වීරයෝ අඳුනන්නෑ.

චන්දරේ:    අපි අහක විසිකරල තියෙන එරඬු දඬු වගේ. 
                අපිට මුල් නෑ ඒත් දළු එනව.”


                (පාර දිගේ - තිර රචනය)

ඒ තමයි විජය විජය කුමාරතුංග;  ඔහු අද ජීවත්ව සිටියා නම් වයස අවුරුදු 69 කි. බෙහෙවින්ම වියපත් රංගන ශිල්පියෙකි. ඇතැම්විට සිනමාවෙන් සමුගෙන දේශපාලනයේ කිරුළු දරන්නට  ඉඩ තිබුණි. ඒ සියල්ල පසෙක තබා ඔහු අපෙන් සමුගෙන අදට වසර 26 කි.  කාලය මේ තරම් වේගයෙන් ඉගිල ගියාදැයි  නොදැනේ. විජය අපෙන් ඒ තරම් දුරට ඈත් වූවා දැයි නොසිතේ. රිදී තිරයේ ඉඳහිට ඇස ගැසෙන විජය තවමත් තරුණය; බෙහෙවින්ම කඩවසම්ය; සුකුමාර යෞවනත්වයේ සොදුරු පෙම්වතාය; රිදි තිරයේ ප්‍රේක්ෂයකා ආදරෙන් වැළඳගන්නා නිර්ව්‍යාජ, හිත හොඳ අවංක පෙම්වතාය. ඔහුගේ රූපකාය තවමත් ඡායාවක් මෙන් රසික මනසේ නොනිදා හිඳින්නේ ඒ නිසා ය. එදා ඒ 70 -80 දශකවල සිනමාවට පෙම් බැන්ද  අප අද බෙහෙවින්ම වියපත්ය. විජය කුමාරතුංග නම් වූ හිත හොඳ අවංක පෙම්වතා තවමත් තරුණ ය.

අස්වැන්නෙන් නිරන්තරයෙන් ඇගැයුමට එසේත් නැත්නම් බුහුමනට ලක්වන කලාකරුවන් අතර විජයට හිමිවන්නේ වෙසෙස් තැනකි. විජය අසාමාන්‍ය රංගන ශිල්පියෙකි, අපූරු හඬක් හිමි ගායන ශිල්පියෙකි, ගීත රචකයෙකි, මානව හිතවාදී දේශපාලඥයෙකි. ඒ හැමටත් වඩා මිනිසුන්ට ආදරය කරන මිනිසුන්ගේ හැඟීම් හඳුනන අප්‍රමාණ වූ සොඳුරු මිනිසෙකි. වචනයේ පරිසමාප්ත අරුතින්ම නිර්ව්‍යාජ වු කලාකරුවෙකි.

විජය ගැන බොහෝ දෙනා කෙසේ කොහාම ඇගැයුම් කලත් ඒ හැම එකක්ම අතීතයට අදාල වූ සටහනක්ම වන්නේය. ඒවා වර්තමානයට අදාල කර ගත හැක්කේ එවන් ජනප්‍රිය කලාත්මක චරිතයක් වර්තමානයටත්  වර්තමාන රසික පරපුරටත්, කලා ක්ෂේත්‍රය නියෝජනය කරන්නන්ට මෙන්ම දේශපාලනය කරන්නන්ටද විජයගේ චරිතය තුළින් උගත හැකි දේ බොහොමයක් ඇති බැවිනි.

ඒ අතිත මංතලා ඔස්සේ ඇවිද අස්වැන්නෙන් විජය කුමාරතුංග  නම් වූ මම ආදරය කරන අප්‍රමාණ සොදුරු මිනිසා සොයන්නේ නිතර අහන්නට නොලැබෙන ඔහුගේ දුර්ලභ ගීත කිපයක්ද සමග ය.

1945 ඔක්තෝම්බර් 10 වෙනිදා උපන් කෝවිලගේ විජය ඇන්ටන් කුමාරතුංග එහෙමත් නැත්නම් අපි දන්න විජය සිනමාවට පිවිසෙන්නේ 1967 වර්ෂයේ තිරගත වූ “මනමාලයෝ” චිත්‍රපටයේ සුළු චරිතයකට පෙනි සිටිමිනි. එහෙත් ඔහු චරිතාංග නළුවකු ලෙස ප්‍රේක්ෂකයන්ගේ දෑස් ඉදිරියේ පෙනී සිටන්නේ 1969 තිරගත වූ සුගතපාල සෙනරත් යාපාගේ “හන්තානේ කතාව” චිත්‍රපටයෙනි. හන්තානේ කතාව චිත්‍රපටයේ “බන්දුල” නම් වූ විශ්ව විද්‍යාල සිසුවාගේ චරිතයට විජය පණ පෙවීය. 70 දශකය  මෙරට ගොඩනැගෙමින් තිබුණ තරුණ ආකල්ප, තරුණ ජවය, තරුණ පරපුර කලාව සහ දේශපාලනය වෙනස් ආකාරයකට වටහා ගත් යුගය යි. හන්තානේ කතාව චිත්‍රපයට ද  70 දශකයේ තරුණ තරුණියන්ගේ සිතුම් පැතුම්  එබිකම් කර තිබුණේ මුලුමනින් ම නව පරපුරකට මග කියූ සිනමා කෘතියක් වූ නිසා ය.

හන්තානේ කතාව තුළින් විජය ඇතුළු නව සිනමාකරුවන්ගේ සම්ප්‍රාප්තිය එවකට තරුණ පිරිසට මහත් ආශ්වාදයක් ගෙනදෙන්නක් වන්නට ඇත.  ඒ යුගයේ තරුණ විලාසිතා, මෝස්තර, ඇදුම් පැළඳුම් අංග චලනය, බස හැසිරවිම මෙන්ම තරුණ පෞරුෂය පවා විජය තුළින් ප්‍රති නිර්මාණය විය. ඒවා සිනමාවේ අත්‍යවශ්‍ය රංගන රීතින් නොවන නමුත් විජය නිරායාසයෙන් ඒවා සිනමාවේදී භාවිතා කළේ ය. ඒ නිසා ඒ යුගයේ තරුණ පරපුර විජයගේ ඒ ආකාර්ෂණීය  තරුණ පෙනුමට වඩවඩාත් ළං වූහ. 


විජයගේ ඒ නැවුම් ආකර්ෂණීය පෙනුම ගැඹුරින්ම ග්‍රහණය කරගන්නේ එවකට වාණිජ සිනමාවේ කිරුළු පැළැඳි චිත්‍රපට නිෂ්පාදකයන් ය.  ඔවුන්ට අවශ්‍ය වූයේ සිනමාගාරවල ප්‍රේක්ෂකයන් සිහින ලෝකවල රඳවා තැබිය හැකි යෞවනත්වයේ කිරුළ හිමි කර ගත හැකි සිහින කුමාරයෙකි. විජයගෙන් මේ සියලු කාරණා පිඹිඹු වූ නිසා වාණිජ සිනමාකරුවෝ විජයට වාණිජ සිනමාවේ දැළ එලූහ.

ඒවන විටත් සිංහල සිනමාවේ දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගා ගෙන සිටි ගාමිණී ෆොන්සේකාගේ ජනප්‍රියත්වයේ කිරුළ පවා විජය දෙසට හැරෙමින් තිබුණී. ඊට හොඳම නිදසුන වන්නේ 80 දශකය වන විට සිංහල සිනමාවේ “ජනප්‍රියම නළුවා” යන අභිෂේක නාමය විජය විසින් නතු කර ගැනිමය.  ඊට ප්‍රධානම හේතුව වූයේ ඔහුගේ අසාමාන්‍ය රූප සම්පත්තියයි.  එවන්  අසිමිත රූප සම්පත්තියක් හෙබි රංගන ශිල්පියෙක් එදා මෙදා තුර සිංහල සිනමාවේ හමුවී නැත්තේ ඒ නිසා ය.

වානිජ සිනමාවේ නැගී සිටීමෙන්  සිදු වූයේ විජය තුළ සිටි  ඒ චරිතාංග නළුවා සැඟවී ගොස් ජනප්‍රියම නලුවා වන්නට විජයට සිදුවිම ය.  ඒ නිසා ම ප්‍රෙක්ෂකයන්ගේ දෑස් ඉදිරියේ වූ තිරයේ විජය “හිත හොඳ නිහතමානී අවංක නිර්ව්‍යාජ පෙම්වතා” බවට පත්විය. ඔහුටද එයින් මිදෙන්නට අවශ්‍යතාවයක් නොතිබුණ බව පැහැදිළිය. වාණිජ සිනමාවේ මේ අවශ්‍යතාවය විජය පසුපසු හඹා ආ හෙයින් චරිතාංග නළුවකු  වීමේ වාසනාව ඔහුගෙන් ගිලිහි ඔහු ජනප්‍රියම සිනමා තරුව බවට පත් කළේ ය. හරියටම ඒබව ඔහුගේම ගීයකින් කිව්වොත් මේ වගේ ය.

නූල්පොටක් උරුම නැතුව හඬමින් මොලොවට ආවේ

හිනැහී මිය යන්න මිසක හඬන්නට නොවේ



ලබාදෙන්න අකමැති දේ උදුර ගන්නෙ නෑ

සාගින්නෙන් මිය ඇදුනත් හිඟා කන්නෙ නෑ



අමරස විඳි සුව යහනේ විසකටු ඇමිණේ

පැණි වරකෙට හෙන වැදිලා නාඩන් වවුලනේ


ගැයුම : විජය කුමාරතුංග

මෙහි සංගීතය සහ ගී පද රචනය සොයාගත නොහැක.
                    

විජය 1967 දී හන්තානේ කතාවෙන් සිංහල සිනමාවේ පළමු පියවර තබා 1988.02.16 දින නික්ම යන විට ඔහුගේ සිනමා දිවිය යාන්තමට වයස අවුරුදු 20 ක් සම්පූර්ණ කළා පමණි. ඒවන විටත් ඒ වසර 20 තුළ චිත්‍රපට 110 කට සිය රංගන දායකත්වය ලබාදි තිබූණි. එයින් චිත්‍රපට 105 ක් තිරගත වූ ඒවා ය. චිත්‍රපට 05 ක් තිරගත වුයේ නැත, ඒ අතර ඔහු විසින්ම නිර්මාණය කළ චිත්‍රපට දෙකකි. ඒ මංමුලාවැල් සහ සමාව යන චිත්‍රපට ද්විත්වයයි.  විජය මියගිය දිනය වන විට චිත්‍රපට 92 – 93 ක් පමණ තිරගත කර තිබුණි. ඉතිරි චිත්‍රපට සියල්ල තිරගත වූයේ  ඔහු මියගිය පසුව ය.

විජය ගායන ශිල්පියෙකු ලෙසින් සිය ගායන සලකුණ තබන්නේද සිනමාවෙනි. ඒ 1980දි තිරගත වූ සුමිත්‍රා පීරිස්ගේ “ගඟ අද්දර” චිත්‍රපටය සඳහා නිමල් මෙන්ඩිස්ගේ සංගිතයට  ඔගස්ටස් විනයාගරත්නම් ලියූ “ගඟ අද්දර” ගීතය ගැයීමෙනි. විජය හන්තානේ කතාව චිත්‍රපටයෙන් එක රැයින් ජනප්‍රිය නළුවකු වූවා සේ ම ඉන් වසර 11 කට පසුව ගඟ අද්දර චිත්‍රපටයෙන් ගායකයෙකු බවට ද  පත් විය. විජයගේ ගායනයේ ඇති කුසලතාවය ඊළඟට ලබාගන්නේ ප්‍රේමසිරි කේමදාසන් විසිනි. ඒ 1980 වසරේදි ම තිරගත වූ ධර්මසේන පතිරාජයන්ගේ “පාරදිගේ” චිත්‍රපටයට ඩබ්ලිව්.  ජයසිරි ලියූ “පාවෙලා යන පාර වටේ” ගීතය විජයගේ හඬින් ගිතයක් බවට පත් කරමිනි. එය යුග ගියකි.  එදා විජයට ගායනයෙන් සහය වූයේ සුභාෂිනි එවනස්  නම් වූ ගායිකාව ය.

අනතුරුව 1981 වර්ෂයේ දී විජය තෙවෙනි වතාවටත් ගායන ශිල්පියෙක් බවට පත්වන්නේ විජය ධර්ම ශ්‍රී අධ්‍යක්ෂණය කළ “සූරියකාන්ත” චිත්‍රපටයෙනි. එදා සූරියකාන්ත චිත්‍රපටයේ සරත් දසනායකගේ සංගීතයට  ගීතයක් ගැයුවේය. ආසන්න වසර දෙකක් තුළ චිත්‍රපට ගීත ගායන ශිල්පියෙකු ලෙස චිත්‍රපට පසුබිම් ගී ගයමින් තම ආස්ථානය තහවුරු කරගත් විජය ඒ චිත්‍රපට තුනේම ප්‍රධාන චරිත නිරූපණය කිරිම විශේෂත්වයකි. ‍මතු දැක්වෙන්නේ විජය සුරියකාන්ත චිත්‍රපටයට ගැයු ඒ මියුරු ගීතය යි.


සිතුම් විහඟ සෙන් සරා නිදැල්ලේ

ජීවන පටුන පුරා

පැතුම් විහඟ සෙන් සොයා ඉගිල්ලේ

දෑසක සිහින දරා



සිතක කැකුලු මල් හසරැල් පීදෙන

උයන් තෙරක් හමුවේදෝ

නෙතක කඳුළු ගඟුළැල්ලක් වෑහෙන

අගාධයක් හමුවේදෝ



සුවඳ සිහිනයක දේදුණු එළියේ

සිතක හැගුම් පිබිදෙන්නයි

ලොවට හොරෙන්  මා හද කුටියට

ඔබේ සුවඳ පිවිසෙන්නයි

ගී පද රචනය: කුලරත්න ආරිවංශ

ගී තනු නිර්මාණය: රෝහණ වීරසිංහ

සංගිතය : සරත් දසනායක

චිත්‍රපටය: සූරියකාන්ත

ගැයුම: විජය කුමාරතුංග
              

විජය රඟ පෑ චිත්‍රපට 110 අතුරින් චරිතාංග නළුවකු ලෙස කුසලතාවය දැක්වූ චිත්‍රපට ඇත්තේ අතලොස්සක් තරම් වූ ප්‍රමාණයකි.  ඒ සිනමා කෘති කිපය ඔහු අති විශිෂ්ඨ චරිතාංග නළුවක්  බවට පත්කරන්නට ප්‍රමාණවත් චිත්‍රපට වේ. 

ධර්මසේන පතිරාජගේ - පාරදිගේ  - (චන්දරේ)

ධර්මසේන පතිරාජගේ - අහස් ගව්ව  - (මහතුන්)

ධර්මසේන පතිරාජගේ - එයා දැන් ලොකු ළමයෙක් 

ධර්මසේන පතිරාජගේ - බඹරු ඇවිත්  - (බේබි මහත්තයා)

ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ - අහසින් පොළවට

ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ - බැද්දේගම (බබුන්)

සුමිත්‍රා පීරිස්ගේ - ගඟ අද්දර ( දොස්තර සරත් පතිරණ)

ටයිටස් තොටවත්තගේ  - මරුවා සමග වාසේ

වසන්ත ඔබේසේකරගේ - කැඩපතක ඡායා (ධනරත්න මුදලාලි)

සුනිල් ආරියරත්නගේ - පොඩි මල්ලි

සුනිල් ආරියරත්නගේ - අනූපමා

සුනිල් ආරියරත්නගේ - ක්‍රිස්තු චරිතය (ක්‍රිස්තුස් වහන්සේ)

කරුමක්කාරයෝ සහ මධු සමය

මේ චිත්‍රපට සියල්ල අතරින් සමහර ඒවා ඇතැම්විට වාණිජ සිනමාවට නැඹුරු වූත්, තවත් සමහර ඒවා කලාත්මක සිනමාවට නැඹුරු වූත් සිනමා කෘති වන අතර තවත් සමහර ඒවා කලාත්මක වාණිජ චිත්‍රපට විය. කෙසේ වුවත් මේ සියලු චිත්‍රපට  සංකේතාත්මකව ගත් කළ විජය විශ්වාස කළ දේශපාලනයත් , කලාකරුවනු තුළින්  පළකරන්නා වූ මානව හිතවාදි ගුණයත් විහිද වූ  විජයගේ සිනමාවේ පැතිකඩක්  බඳු චිත්‍රපට වේ.

මේ අතුරින් විජයගේ අතිවිශිෂ්ඨ රංගන ප්‍රතිභාවක් පළ කළ  සුනිල් ආරියරත්නගේ - ක්‍රිස්තු චරිතය (ක්‍රිස්තුස් වහන්සේ ) සිනමා කෘතිය සිංහල චිත්‍රපට ප්‍රේක්ෂයන්ගෙන් ගිලහී යන්නේ මෙරට ප්‍රේක්ෂකයන් බහුතරයක් බෞද්ධ ආගමිකයන් වූ බැවිනි. ඒ විජයගේ  නිර්මාණයකට සෘජුවම ආගම අදාළ වූ නිසා ජනතාව එවන් චරිතයක් පිළිගැනිමට මැලි වූ නිසාත් ය. අද දවසේ මෙරට නිපදවෙන බෞද්ධ සංකේත මුල්කරගත් ඓතිහාසික ප්‍රබන්ධ ඇසුරින් නිර්මාණය වන සිනමා කෘති මුදල් උපයන් උල්පත් බවට පත් කරන්නත් එදා විජයගේ  ක්‍රිස්තු චරිතය ප්‍රේක්ෂකයන් ඉදිරියේ  අසාර්ථක වන්නේත් බෞද්ධ සහ ක්‍රිස්තියානි ආගමික මුහුණුවර බලපෑ බවට තහවුරු වන හේතු සාධක පිරවරාගෙන ය. 

අපේ ආත්මය උදුරන් තුරුළු කරන් සැතපෙන්නට

මිනී පෙට්ටි නිදිමරනව අපි එනකල්



දිග අඬුපඬු දික්කරගෙන සාම්බ්‍රානි දුම් බීගෙන

මිනී පෙට්ටි නිදිමරනව අපි එනකල්



සේසත් පෙර මග බලනව ලී ඇත් දල නිදි කිරනව

මිනී පෙට්ටි නිදිමරනව අපි එනකල්



කරදහි මල් ඉකි බිදිනව පාවඩ වැතිරී නිදනව

මිනී පෙට්ටි නිදිමරනව අපි එනකල්

ගැයුම : විජය කුමාරතුංග                     
මෙහි සංගීතය සහ ගී පද රචනය සොයාගත නොහැක.
 
           


විජය දේශපාලනයට නැඹුරුවන්නේ 1977 නව දේශපාලන පෙරළියත් සමග ය.  දේශපාලනයේදී විජයට සිනමාවේ මෙන්ම පැහැදිලි දර්ශනයක් තිබුණි. ඊට සරිලන ප්‍රතිපත්තිද ඔහුට තිබුණි.  ඔහු සිනමා ජීවිතයම කැප කළේ ප්‍රේක්ෂකයන්  වෙනුවෙනි. එසේම දේශපාලන ජීවිතය ද මුලුමනින්ම කැප කරන්නේ පීඩිත ජනතාව වෙනුවෙනි.  එහෙත් එදා සිටි ජනතාව විජයගේ  දේශපාලන දර්ශනය වටහා ගන්නට අපොහොසත් වූයේ ඔවුන් රිදී තිරයේ ආදරය කළ සිහින කුමාරයා අතහැර දේශපාලනයට අතපෙවීම ‍විජයට නොගැලපේ යැයි ඔවුන් සිතූ නිසා ය. අනෙක් අතට අද මෙන් එදවස මාධ්‍ය සංස්කෘතියක් නොතිබිමත්,  තිබුණ එකම මාධ්‍ය රජය සතුවිමත් නිසා විජය අපේක්ෂා කළ දර්ශනය නිසි ලෙස ජනතාව ඉදිරියේ තබන්නට ඔහුට නොහැකි විය.  බහුතරයක් ග්‍රාමීය ජනතාව ඔහු දේශපාලකයෙක් ය යන මතය තහවුරු කරන්නට ඉඩ නුදුන්නේ සිනමාවේ දුටු හිතහොද අවංක පෙම්වතා ඒ ගැමි ජීවිතය තුල ලැගුම් ගෙන සිටි බැවිනි.


එසේ වුවත් එදා විජයගේ දේශපාලන සම්ප්‍රාප්තියට අකමැති වූ ජනතාවගේ දෙවන පරපුර අද දවසේ දේශපාලනය ගැන අබැටක් තරම්වත් දෙයක් නොදන්නා නළු නිළියන්  දේශපාලනයට කැදවා ඉහළින්ම දිනවන්නේ එදා මෙන්ම අදටත් ඔවුන් තමන්ගේ සිහින ලෝකවලින් තවමත් මිදී නැති හෙයිනි.

විජය ගිත ගායනයට පිවිස වසර හතක් වැනි කෙටි කාලයක් තුළ ගිත සියයකට ආසන්න ප්‍රමාණයක් ගැයුවේය. එයින් සියයට හතළිහක් පමණ ගිත ප්‍රේම ගීත ය. ඉතිරි සියයට හැටම විරෝධාකල්ප ගිත සාහිත්‍යයට නෑකම් කියන ගීත නිර්මාණයන්ය. මංගල නැකත, ගඟ අද්දර, දිනකර පායා, කවුලුව අතරින්, වේදනා, තනි යහන, සහ සිහින වෙරළ විජයගේ ගීත නිර්මාණ ඇතුළත් වූ කැසට් පටයන් ය. මෙයින් වේදනා, තනි යහන, දිනකර පායා කැසට් පට සාම්ප්‍රදායික ප්‍රේම ගීයෙන් මිදී සමාජය  විවරණය කළ ගීත ඇතුළත් කැසට් පට වේ. මුල්වරට 80 දශකයේදී  විජය විරෝධාකාල්ප ගීත සාහිත්‍යයට නව ජවයක් ලබා දුන්නේ එවකට පැවති ආණ්ඩුවට එරෙහිවය. වේදනා කැසට් පටය අසූව දශකයේ ආරම්භයේදීම නිර්මාණය වුයේ ජේ.ආර් ජයවර්ධන  ජනාධිපති වරයාගේ පාලනයට එරෙහිව ය. මේ ගීත අදටත් වළංගු වන්නේ ඒ නිසා ය.

වහලේ යට ලීයේ

එල්ලී මිය ගිය මගේ මලේ

මළේ කිමද නුඹ දනිමි මලේ



ගෙපැල උගස් කර ලැබූ ශිල්පයට

අවමන් ගැරහුම් කරන නිසා

දැන හැදුනුම්කම් නොමැති කිසිම තැන

සිනා පොදක් හෝ නොදුටු නිසා

දම්සක් පැවතුම් සුතුර පුරද්දී

නොදහම සිහසුන සිහසුන දරන නිසා

එල්ලී මළ බව දනිමි මලේ නුඹ

මරණින් මතු ලොව හොඳය සිතා



බොජුන් සදන්නට මාපිය දෙපොළට

අතමිට සම්පත් සිඳුණු නිසා

සිරසට වහලක් දෙපයට පොළවක්

සිතකට නිවනක් නොලද නිසා

මිනියට අන්දා දෙනෙහි තබන්නට

පමණක් ඇඟලුම් තිබුණ නිසා

එල්ලී මළ බව දනිමි මලේ නුඹ

මරණින් මතු ලොව හොඳය සිතා



ගී පද මාලාව: මහාචාර්ය සුනිල් ආරියරත්න

සංගීතය: රෝහණ වීරසිංහ

        ගැයුම : විජය කුමාරතුංග

                   

 ඒ අයුරින් විජය සිනමාවේදී විවිධ චරිත නිරූපණය කරමින් මිනිස්කම විකසිත කළේය. එය සැබෑ ජීවිතයේ දී මිනිස් හදවත් වලට ළංව සැබෑ මිනිසකුගේ ගුණසුවඳ පැතිරවිම පිණිස දේශපාලනයේ පරිණත බවට ළගාවෙමින් සිටියේ ය. ඔහුගේ දේශපාලනය තුවක්කුවකින් නිකුත්වන ජීව උණ්ඩයකට සිදුරු කළ නොහැකි තරම් ශක්තිමත් අරටුවක් සහිත දර්ශනයක් විජය වටා ගොඩ නැගෙන බව විජයට නොදැනුනත් ඔහු දෙස බලා සිටි ඔහුගේ ප්‍රතිවාදීන්ට දැණින. විජය අප්‍රමාණව මිනිසුන් කෙරහි විශ්වාසය තැබීය. ඒ විශ්වාසයේ කුඩා සිදුරක් ඇති බව ඔහුට නොපෙනුණි. විජයගේ දේශපාලනය සිදුරු කළ නොහැකි බව දැනගත් ජීව උණ්ඩය සිංහල සිනමාවේ හිත හොඳ අවංක පෙම්වතාගේ මුහුණ  විනිවිද ගියේ ය.


සැතපෙන්නෙ දෙවියන් සුරඹුවන්  සමගයි

මළවුන් නිදන්නෙ මළවුන් සමගයි



රහතුන් වැඩියද ගිරිකුලු මුදුනේ

සුවඳ පිරුනු මල් කෙදිනද පිපුණේ‍

වැරදීමෙන් දෝ මා මෙලොව ඉපදුනේ



සයුර දිනන ඔරු සයුරෙ දිලෙන්නේ

වෙරළ සිඹින රළ වෙරළෙ හැපෙන්නේ

මතු කවදාදෝ මා මට නැතිවෙන්නේ


         ගැයුම : විජය කුමාරතුංග

මෙහි සංගීතය සහ ගී පද රචනය සොයාගත නොහැක.
                             







Friday 7 February 2014

෴ හැරී බලමි මම ඔබේ ඇසින්....100 ෴

 





මාතලන් ඇතුළු සහෘදයන් රැසක්ම දැනුම් දුන්නා 100 වෙනි සටහන සින්ඩිකේටර වලට ඇතුල්වී නොමැති බව. ඒ සියලු දෙනාටම ස්තූතියි!

   ෴ හැරී බලමි මම ඔබේ ඇසින්... 100 ෴ සහෘදයන්ගේ අදහස් මෙතනින්  කියවන්න.


           මාතලන් සහෘදයා ලියනවා දයාට 100 යි කියලා ඒකත් මෙතනින් බලන්න..

ඔබේ අදහස් ඇත්නම් ඒ ඒ පිටුවලම ලියා තබන්න

Thursday 6 February 2014

෴ හැරී බලමි මම ඔබේ ඇසින්.....100 ෴





මේ අස්වැන්න 100 සටහන.  2011 වර්සයේ අවසාන කාලයේ පටන්ගත්ත අස්වැන්න ඉන් හරියටම වසර දෙහමාරයක් ආසන්න වෙන්න තිබියදී 100 වෙනි සටහන ඔබ හමුවේ තැබිමට ලැබිමත් සතුටට කරුණක්. හොදම දේ අතරින් වඩා හොඳම දේ හොයාගෙන යන අතරමගකදී හමුවූ බොහෝ පිරිස් මේ මොහොතේ සිහිපත් කළ යුතුමයි. ඒ අන්තර් ජාලයේ සමාජ මෙවලම් සමාජ ජාල භාවිතයත් සහ එයින් ගතහැකි ප්‍රයෝජන ගැනත් කියාදුන් සියලුම සහෘදයන්ට ඒ කෙරෙහි උනන්දු කරවූ සියලුම සහෘදයන්ට මේ මොහොතේ මගේ ආදරයත් ගෞරවයත් හිමිවෙනව.

ඒවගේම මේ අවකාශ තුල සැරිසරද්දී අහම්බෙන් හමුවූ හමුවී මිදමක් ගොඩනගා ගත් සහෘද පිරිස සේම අපට යහපත් කලාවක මග කියාදෙන නන්දන වීරසිංහ සහ ජයතිලක බණ්ඩාරයන් ද,  මගේ සමකාලීන කලාක්ෂේත්‍රයේ හමුවූ මිතුරු පිරිස අතර යසනාත්ධම්මික බණ්ඩාර, මංජුල වෙඩිවර්ධන සහ  රවී සිරිවර්ධන, වැනි මිත්‍රශීලි සහෘද පිරිසත් දිනපතා හමුවන තැනක් වුනේ මේ අන්තර්ජාලයේ සමාජ ජාල භාවිතයට හුරු වුණාට පස්සෙ. කොහේ කොතැනක හිටියත් එකම ඉසව්වක මේ පිරිස හමුවීමත් ලද භාග්‍යයක්.

එසේම බ්ලොග් කලාවට හුරු වුණාට පස්සෙ  බ්ලොග් ක්ෂේත්‍රයේ හමවූ මෙන්ම හමුනොවුනත් පුංචි පණිවුඩයකන් හරි අදහස් දැක්විමට එකතු වූ සහෘද පිරිසටත් අස්වැන්නේ ලියූ කියූ දෑ වෙබ් අඩවි වලට එකතු කළ සියළුම සිංහල වෙබ් අඩවි සංස්කාරක වරුන්ටත් මේ මොහොතේදී මගේ ස්තූතියි පිළිගන්වනවා.

අස්වැන්න 99 සටහනින් කළ ඇරැයුම පිළි ගෙන නිදහස් අදහස් ලියා එවූ මේ සහෘද පිරිසටත් මනරම් නිර්මාණයක් 100 වෙනුවෙන් කර දුන් මාලක නුවන් සොහොයුරාටත් මගේ ගෞරවනීය ස්තූතිය මේ මොහොතේ පිළිගන්වමි. මෙතැන් සිට ඔවුන් ලියා එවූ සියලු දෑ මෙසේ සටහන් කර තබමි.



          කලාකරුවා සතු සමාජ වගකිම -
        ප්‍රවීන ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර

සාර්ථක අස්වැන්නක් ගෙට ගන්නා කාලෙදි තමයි අපේ අම්මලා තාත්තලා සතුටින් හිටියේ. මාස ගණනක දුක් මහන්සියේ ප්‍රථිපලය තමයි අස්වැන්න. ඒ අස්වැන්නම තමයි ඔවුන් තමන්ගේත් තම දරුවන්ගේත් ඉදිරි කාලය ජීවත් කරවිම සඳහා සුරැකිව තබාගන්නෙ. ඒ විදියට කලාකාරයෙක් තම ජීවිත කාලය පුරා නෙලාගත්ත  අස්වැන්න තමයි ඔහුගෙ කලා නිර්මාණ බවට පත් වෙන්නෙ.

ඒ නිර්මාණ වෙනුවෙන් ඔහු බොහෝ දුක් විඳින්න ඇති. බොහෝ කැප කිරිම් කරන්නත් ඇති. බොහෝ විඳවන්නත් ඇති. එසේ නිර්මාණය කරන ලද ඔහුගේ  නිර්මාණ එකතුවක් කෙසේ හෝ වෙන වෙනම ගෙන ඇගැයිමට හෝ සමාජ ගත කිරිම තුළින් ඒ කලාකරුවා‍ සතුටටත් ගෞරවයටත්  පත්වෙනවා පමණක් නොව ඔහුට තවදුරටත් නිර්මානකරණයේ යෙදෙන්නට අසීමිත වූ ශක්තියක් ලබා දෙනවා. ඒ වගේම එය මහා පුණ්‍යකර්මයක් බවට පත්වෙනවා. මේ කටයුත්ත කිරිමට විශාල ඉවසිමක්, හික්මීමක් තිබිය යුතුවා සේම  කාලය කැප කරමින් අධ්‍යනයක නිරත යුතු  වෙනවා. ඒ කියන්නේ කලාකරුවකු වුණත් බෝධිසත්ව ගුණයකින් පරිපූර්ණ විය යුතු වෙනවා.

දයානන්ද රත්නායකයන් මේ සියලු ගුණයන්ගෙන් යුතුව අස්වැන්න නිර්මාතෘ බවට පත්වෙනවා. වගාවකින් ලබන අස්වැන්නේ ප්‍රයෝජනය ඒ වගාවේ අයිතිකරුවා භුක්ති විඳිනවා‍ වුවත් දයානන්ද රත්නායකගේ අස්වැන්නේ ඵල ප්‍රයෝජන භුක්ති විඳින්නේ ඔහු නොවේ. ඔහු ලියන, ලියන්නට තෝරා ගන්නා විෂයට අදාල කලාකරුවාට ශක්තියක් වනවාට අමතරව එය කියවන, සමාජයම දැනුවත් ඒ ලිපියෙන් දැනුවත් වෙනවා. දයානන්දට ඉතිරිවන්නේ එයින් ලබන අපමණ වූ නිරාමිස සතුට පමණි. එය බෝධිසත්ව ගුණයක් විදියටයි මට අර්ථ දක්වන්න සිදුවෙන්නෙ.

දයානන්ද අන්තර්ජාලයේ ලියන අස්වැන්නේ තවත් විශේෂයක්  මම දකිනවා. ඒ ඔහු ගීත රචකයෙක්, කවියෙක්, ලේඛකයෙක් ව සිටියදීම ඔහු ජීවත්ව සිටින හෝ ජීවත්ව නොසිටින කලාකරුවන්ගේ නිර්මාණ අගය කිරීමක නිරත වෙනවා. ඔහු ඒක කරන්නෙ කිසිඳු ලෝබකමකින් තොරව. ඔහුගේ විෂය පථයට  හසුකරගන්නා කලාකරුවන්ගේ නිර්මාණ ඉහලම තැනකට ඔසවා තබනවා. මෙය අද අප සමාජයේ අඩුවෙන්ම දකින්නට ලැබෙන ලක්ෂණයක් හැටියටයි මම හිතන්නේ.

ඉතින් අන්තර්ජාලයේ බ්ලොග් අවකාශයේ අස්වැන්න 100 සම්පූර්ණ කරන මේ මොහොතේ දයානන්දට යහපත් කලාවක් වෙනුවෙන්, යහපත් සමාජයක් වෙනුවෙන් යහපත් ‍නිර්මාණ තවතවත් සමාජ ගත කරන්නට ශක්තියක් ප්‍රාර්ථනය කරනවා.  

              
                  සයිබරයේ දයා ලකුණ - 
දයානන්ද රත්නායක හෙවත් දයා මගේ දිගුකාලීන මිත්‍රවරයෙක්.  මං ඔහු ගැන දන්න අපේ ඉතිහාසය තුළ මට පේන්නෙ මේ මොහොතෙත් පේන්න ඉන්න නිර්ව්‍යාජ  සරල මනුස්සයා. ඔහු ලියූ "මිරිවැඩි සඟලක් ඉල්ලා නොහඩමි" කියන ගීතය කපුගේ ගැයුවා විතරක් නෙවෙයි ඒ ගීය ඇතුළත් ඇල්බමයට නම තිබ්බෙ ඒ ගීයෙන්.  ඒ 1995 තරම් ඈතක. සමකාලීකයො මුරුංග ගස් වවාගෙන ගස් බඩගාද්දි දයා මුරුංග ගහ පේන්න තියෙද්දිත් ඊට නැග්ග නැතිකමම විතරක්ම වුණත් ඇති වුණා, මට මිත්‍රයෙක් විදිහට ඔහුගේ අධ්‍යාත්මය කියව ගන්න.  මට ඔහු ගැන ඒ දවස් වල හිතුණු, නමුත් ඔහුට නොකිව්ව දෙයක් මේ මොහොතෙ කියන්නම්. මං හිතුව මෙහෙම. "ඔව්! ඒ තමයි දයා."

මං නිත්‍ය වශයෙන්ම යාවත්කාලින වෙන අස්වැන්නෙ රහ බලනවා. මොකද ඒ අත්ගුණේ දන්න හින්දා. සයිබරේ කරක් ගහන අය කෙරෙන් මතුවෙන පණ්ඩිතමානී ගුණය වෙනුවට දයාගේ ස්වරයෙන් මතුවෙන්නෙ නිහතමානී ගුණය. මං එහෙම කියන්නෙ මිත්‍රකම හින්දා නෙවෙයි කියලා ඔහුගේ සශෘදයන් දන්නවා. මොකද ඒක ඇත්ත හින්දා. විශේෂඥ වෛද්‍යවරයෙක් වගේ ඔහු ස්පෙෂලයිස් කරපු විෂයක් තියෙනවා. සීමිතව ගත්තම ගීතය සහ පළල්ව ගත්තම සංගීතය. ඒක දමයි දයා කරක් ගහන පළාත. දයා කියන්නෙ දන්නැති පළාත් වල ගිහිල්ල මැජික් පෙන්නන්න හදන මැජික්කාරයෙක් නෙවෙයි.  එලෙසම ඔහු, දන්න විෂයේ ශිල්ප දක්වන්න පැකිලෙන්නෙත් නෑ.

දයාගෙ සයිබරීය වපසරිය ගැන මට තියෙන අර්ථකතනය තමයි, එහි නාමකාය ඒ කියන්නෙ "අස්වැන්න" වැඩ කරන්නෙ තමන් කෙරෙහි නෙවෙයි,  සහෘදයා, කියවන්නා, අසන්නා, රසවිඳින්නා වන අප කෙරෙහි කියන එක.  කෙටියෙන්ම මේකයි. ඔහු වපුරනවා, නෙළා ගන්නෙ අපි. මේක තමයි දයා සයිබරයේ ස්ථානගත කරන පරාර්ථකාමී සද්ගුණය හෙවත් "දයා ලකුණ".  


                ඒ අස්වනු නෙළාගත්තේ අපි - 


මුලින්ම මේ තරම් දිගු ගමනක් ඒම ගැන මගේ සුබ පැතුම්...

මම හිතන්නේ අස්වැන්නේ පළ වුනු මුල්ම ලිපියේ ඉඳලම මම අස්වැන්නේ ලිපි කියෙව්වා. (අදටත් මම ගොඩක්ම කැමති ඒ මුල්ම ලිපියට. අවාසනාවකට ඒ ලිපිය නැති වෙලා කියලා ඔබ කිව්වා මට මතක විදියට).  

අවංකවම කිව්වොත් අස්වැන්නේ හැම ලිපියකින්ම මොනවා හරි අලුත් දෙයක් මමනම් ඉගෙන ගත්තා. අපි ඉපදෙන්නත් කලින් සිදු වුන සමහර දේවල් ගැන මම මුලින්ම දැන ගත්තේ අස්වැන්නෙන්. ගොඩක් වැඩ රාජකාරි මැද්දේ උනත් අස්වැන්න ගැන වචනයක් හෝ නොලියා ඉන්න බැරි උනේ ඒ නිසාමයි. 

ඉතින් ඔබේ සරුසාර බ්ලොගයට "අස්වැන්න" කියන නම ඇර වෙනත් නමක් ගැලපෙනවද කියලා මට සැකයි. ඒ අස්වනු නෙලාගන්න අපිට ඉඩ සලසා දෙන ඔබට බොහොම ස්තුතියි 

පුරවැසි මාධ්‍යකරණය සහ   සිංහල බ්ලොග්       කලාව -  
     ප්‍රියන්ත හේවගේ - මාතලන් බ්ලොග් අඩවිය

අපේ රටේ තිබෙන ප්‍රධාන පෙලේ සුව කළ නොහැකි රෝගයක් තමයි හිස්ටීරීයාව කියන්නේ. ඒක මගේ කල්‍යාණ මිත්‍රයන්ටත් තියෙන ලෙඩක්. මා සිතනා ආකාරයට එය, තම ගිලිහී යන තාරුණ්‍ය කෙරෙහි ඇතිවන තෘෂ්ණාව හේතුවෙන්, පශ්චත්තාපයට පත්වී, වත්මන් පරපුර කෙරෙහි ඇති කර ගන්නා, වෛරී සහගත හැඟීමක් සහ ක්‍රියාදාමයක්.

විශේෂයෙන් ලැම්බෝගිනිවල නැගී, ආශ්චර්යයේ අධිවේගී මාර්ග ඔස්සේ, සීඝ්‍රයෙන් ගල් යුගය කරා පිය නගන වත්මනෙහි, එය වඩාත් ඉස්මතු වෙලා. තරුණ පරපුරට පමණක් නොව, ඔවුන්ගේ නිර්මාණ කෙරෙහිද එල්ල වන, ඉතා වෛරීසහගත විවේචන කියාපාන්නේ වෙන කිසිවක් නොව, මේ රෝග ලක්ෂණ හා ෆෝබියාවලින් පෙනෙන පණ්ඩිතයින්.

කවිය, ගීතය, නව කතාව, සිනමාව, නාට්‍ය, කෙටි කතාව හා එකි මෙකී සියළුම කළා ක්ෂේත්‍රයන්හී පමණක් නොව, අළුත්ම කළා මාධ්‍ය හා ජනසන්නිවේදන මාර්ගයක් වන, පුරවැසි මාධ්‍යකරණයේ කැඩපතක් බඳු, සිංහල බ්ලොග් කලාව තුලද පවතින්නේ එම තර්කයමයි. 

වසර හතරක පහක ඉතිහාසයක් ඇති මේ ක්ෂේත්‍රයේ පවා, "එදානේ ඉන්න තිබුනේ..." "ඒවනේ බ්ලොග්..." කියනා රෝගී ප්‍රකාශයන් වැහි වැහලා. අනෙක කිසිම නීතී රීතියක් නොමැති එය තුලටත් අපේ කුහකයන් නීතී රීතී පනවලා. මේ ප්‍රකාශවන්නේ, අපේ සංස්කෘතියේ කුහකත්වය හා, අළුත් දෙයක් වැළඳගැනීමට ඇති බිය පමණයි.

භාෂාව,හා එහි අක්ෂර මාලාව පවා, කාළයත් සමඟ සරළ විය යුතුයි. ශිෂ්ඨාචාර කියන්නේ එයයි. එකම තැන පල්වෙන වතුර වලකට වඩා, ගලා යන ගංගාවක ජලය පිරිසිඳුයි. එදා ශේක්ස්පියර්ගේ භාෂා ශෛලිය, අද තිබෙනෙ ඉංග්‍රීසි පොත පතේ නෑ. නවීන තාක්ෂණයත් සමග එය තවත් සරළ වෙලා. අපෙත් මෑත යුගයේ තිබූ රචනා ක්‍රම විදි පවා අද සිනහ උපදවන කාරණා.

මෙන්න මේ දේවල් හොඳින් හඳුනා ගත්, නවීන පරපුර සමඟ එක පෙලට සිට ගත හැකි, නිහතමානි, අවිහිංසක නිර්මාණකරුවෙක් ලෙසයි අනුරාධපුරයෙන් පැමිණ, කළාවට පරිභාහිර වූ නීතී ක්ෂේස්ත්‍රයේ රැකියාවක් කරමින්, කලාවේ උන්නතිය වෙනුවෙන තම උපන් බිමට කළ හැකි සේවය, උපරිම අයුරෙන් ඉටුකරනා දයා ව මම දකින්නේ. 

කිසිම කළබලයකින් තොරව, ඉතා නිර්මාණශීලීව, කොමෙන්ට්ස් හා හිට්ස් බලාපොරොත්තු වන්නේ නැතුව, ඔහු විසින් පියවර 99 ක් නැග ආ මේ ගමන් මග, කළබලකාරී බ්ලොග් ලියන්නන්ට හොඳ ආදර්ශයක්. ඔහුගේ ලිපි සියල්ලම එක හා සමානයි. එහිත් එක පිලක් නියෝජනය කිරීමක් හෝ පරම්පරාවක් නියෝජනය කිරීමක් නෑ. මා සිතනා ආකාරයට සුනිලා අබේසේකර නම් උතුම් කාන්තවගේ කළා කටයුතු පිළිබඳ, බ්ලොග් රසිකයින් දැණුවත් උනේ දයාගේ ලිපිය හේතුවෙන්. 

ශතකයක් රැස්කල සුන්දර, නිහතමානී මිනිසාට මාගේ උණුසුම් සුභ පැතුම්...!!!

200 කට ආයුබෝවේවා...!!!

                  
         ගීතයට හොඳ කතිකාවක් ඇති කරන තැනක් - 

මම හැමදාම හිතන දෙයක් තමා බ්ලොග් ලෝකයේ ඒ ඒ විවිධ ක්ෂේත්‍ර වල ප්‍රවීණයන් ඉන්න ඕන කියන එක. එයින් අවශේෂ බ්ලොග් රසිකයන්ට ඉතා හොද දැනුමක් ලබා ගන්න පුළුවන්. දයාගේ පෝස්ට් වලදි අප අතර කතිකා ඇති වීමෙන් හුගක් තොරතුරු හා දැනුම අපි ලබා ගත්තා. ඒ අනුව ඔබ වැනි අයෙකු මේ බ්ලොග් එක තුල පෝස්ටු 99 ක් දැමීම කියන්නේ දැනුම් සාගරයක් අවකාශයට මුදා හැරීමක්.. ඒකයි අවශ්‍ය.. සීයට සුභපැතුම්.

 
               
අඳුර අපිව වෙලා ගන්නා අවසාන දිනය දිගු කරගනිමු - 
                ගීත රචක සහ ලේඛක 
               වෛද්‍ය යසනාත් ධම්මික බණ්ඩාර 
             (යසනාත් සිතුවිලි බ්ලොග් අඩවිය)

 වර්තමානය පෙරට වඩා අඳුරුය....

කුමන කරුණ සලකා බැළුවද ඇත්තේ පෙරට වැඩි අඳුරකැයි සිතෙන වාර අනන්තය. සමහර ක්ෂේත්‍ර වල ඒ අඳුර නොසැඟවී පෙනෙන්නට ඇත. 

සමහර ක්ෂේත්‍ර වල දැනට පෙනෙන්නේ අඳුරු වලාවේ ඇතැයි කියන රිදී රේඛාවයි. අඳුර මතුපිටට පෙනෙන්නට නැත. එහෙත් ඇත්තේ අඳුරමය. 

මේ අඳුරෙන් එක් ක්ෂේත්‍රයක් පමණක් හුදකලාව ගලවා ගත හැකි වේද යන්න ගැටළුවකි. සාමාන්‍ය ගැටළුවක් නොව මහාම ගැටළුවකි. 

අපි කවුරුත් ගැටළුව දකිමු. එහෙත් පිළිතුරු නොසොයමු.

සමහර දේට අප වඩා සංවේදීය. නිදහස එලෙස වඩා සංවේදී එක් මාතෘකාවකි.
සාපේක්ෂ නිදහසක් ගැන ඇති සතුට මත අපි ඇත්ත නිදහස පාවා දීඇත්තෙමු. සාපේක්ෂ නිදහසේ සුව දසුනින් ආවරණය ලැබ සැබෑ නිදහස අධික වේගයෙන් ගවු ගණනින් අපෙන් දුරස් වනබව අපට නොවැටහේ. 

එහෙයින්ම අපි වෙනම වැඩ කරන්නෙමු. වෙනම සතුට සොයන්නෙමු. වෙනම නම්බුව, කීර්තිය සොයන්නෙමු. වෙනම රැස් වළල්ල තරකරගන්නෙමු. 

එහෙත් අඳුරු ලෝකයක මේ රැස් වළල්ලේ ආලෝකය කුමකටදැයි දිනෙක අපම සිතනු ඇත. එවිට අප වෙත ඇත්තේ ප්‍රමාදයේ මහා කලකිරීම පමණි.

අප වෙසෙසින් සංවේදී තවත් පැත්තක් වන්නේ සාහිත්‍ය කලාංගාදියයි. වර්තමානයේ ඒ තුළ ඇති අඳුර නිදහසට උදාවූ අඳුරටත් පෙර සිටම දැනෙන්නට පටන්ගත් දෙයකි. 

සෙමෙන්,සාපේක්ෂ දියුණුවක් ලබමින්, ඒ මත සතුටුවියහැකි ගමනක් ආ අප, ක්ෂනිකව අඳුරට ඇද දැමූ සාධක මොනවාදැයි විවිධ තර්ක තිබිය හැක. ඒ තර්ක කෙසේ වෙතත් එහි අද ඇත්තේ අඳුර බවට නම් තර්කයක් නැත. මේ අඳුරෙන් ගොඩ ආ හැකිද?

සමස්ථය අඳුරට යන සමයක සාහිත්‍ය කලාංගාදියට පමණක් තනිව ගොඩ ආ හැකියැයි මම නොසිතමි. තනිව එය පමණක් ගොඩගත හැකියැයිද නොසිතමි.

අප අඳුර වෙත හැරුණු තැනට ගොස් නොබලන්නේ නම් එය අඳුරටම යනු ඇත. එහෙත් එහි ආලෝකය දුටු අපට ඒ අඳුර දරාගත නොහැක. 

ආලෝකය නොදුටු, අඳුරම දුටු, ආලෝකයට වඩා අඳුරට පෙම් කරන අමුතු සමාජයට මෙය ගැටළුවක් නොවේ. ඔවුනට ඉතිහාසයක් හෝ සාහිත්‍ය කලා රසිකත්වයක් හෝ නැත. එහෙයින් පදනමක් නැත. එහෙයින් හදවත් නැත. එහෙයින් මිනිසත්කමක් නැත. 

ඔවුන් අඳුර තුළ සිටිමින්, නොදුටු එළියට ගරහමින් විවිධ දේ කරණු ඇත. දිගටම කරණු ඇත. ඒ දේ මහා වධයක් වන්නේ එහි එළිය දැක පුරුදු අයටය. 

මේ නිසා අඳුරට බණින අපේ වුන් අඳුරට බණිමින්ම එක් පහණක් හෝ දැලවීමට ගන්නා විවිධ උත්සාහයන් වෙයි. ඒ උත්සාහයන් නිසා අන්ධකාර ලෝකයක් තුළ පුංචි එළි පොදක් දකිමින් මියෙන තුරු හිත හදාගන්නට අපි උත්සාහ දරමින් සිටිමු. 

ජීවිත සන්තුෂ්ඨිය පිණිස ලොකු දේ කළ නොහැකි පරිසරයක පුංචි පුංචි දේ කරමින් හිත හදාගන්නට මේ දේවල් මහා වැදගත්කමක් දරයි. මේ එයින් එක් දෙයක, මතක ශතකයේ මොහොතයි.

දයානන්ද රත්නායක සොහොයුරා හඳුනාගත්තේ අද ඊයෙක නොවේ. දයාගේ අස්වැන්න බ්ලොග් අඩවිය හඳුනාගත්තේ අද ඊයේ වගේය. 

අස්වැන් බ්ලොග් අඩවිය යනු අපේ පිළකි. අපේ පැදුරකි. අපේ සෙවනකි. එහි වාඩිලා සිටින විට සිත ගිම් නිවී යයි. 

ඒ ඇයි?

එහි ඇත්තේ අපේ දේ නිසාය. අපි කැමති දේ නිසාය. අපි පතන දේ නිසාය. අපිව ජීවත්කරවන දේ නිසාය.

අපි කොයි කොයි තැන්වල ගැවසුනද, කොයි කොයි තැන්වල විසුවද,  අපි එකම විදිහේ මිනිසුන් වූයේ මේ පොදු සාධකය නිසාය. 

දයාගේ අස්වැන්නෙහි සියවෙනි සටහන දිගහැරෙන මොහොතේදී මේ සටහන කෙටියෙන් තබන්නට අවැසි වුණත් මේ තරම් හෝ කෙටි කරගත්තේ ආයාසයෙනි. තවත් දිගු නොකරමි. වචන වලට නොපෙරලූ වෙසෙස් සුබ පැතුම් මෙහි ඇත. දයා එය හඳුනයි.
දයා..... අපි පුංචි පුංචි දේ හෝ කරමින් අඳුර අපිව වෙලා ගන්නා අවසාන දිනය දිගු කරගනිමු.

               

  කලාව ගැන හොඳ සංවාදයක් ඇති කිරීමට නම් - 
                   අරූගේ බ්ලොග් අඩවිය

දයා ලියා තබා ඇති බොහොමයක් බ්ලොග් සටහන් මා කියවා ඇතමමද කලාරසිකයෙක් 
 නිසා  ලිපි තුළින් බොහෝදේ ඉගෙනගත්තෙමි.රස වින්දෙමිඅතීතයටද කිමීදී ඇත්තෙමි 
තව දුරටත් ඔබ ලියනා සටහන් තුළින් සංවාදමය ස්වරූපයක් ඇති කර ගැනීම කියවන්නා 
 සතුකාරියක් වන මුත් ඔබටත් තවතවත් පොහොර එකතු කල හැකිනම් අස්වැන්න  
තව තවත් සරුසාර වන බවනම් කිව යුතුමයදයා නුඹට ජය!!



                         වචන හතරයි කියෙන්නේ,.
                        අස්වැන්න කියන්නේ ''කලා සරසවියක්''.
                                -තරිඳු ජයරත්න-

 
                             සයිබර අහස - තරුරසී  



වස්වන නිබඳ
සත්සර පබඳ
අස්වනු නොමඳ
විස්මෙකි සබඳ...
 
මෙත් සඳ සිසිල
සිත් මත විසුළ
අත් බැඳි විපුල
රත්නෙකි උදුල...
 
සයිබර අහස
සුලකුරු පහස
පින්සර දයැ
කවුරුද ඔබ ම මිස.


       උසස් සිංහල ගීතයේ රස සොයන්නා -
            පවිත්‍රා කුමාරි ලියනගේ

 උසස් සිංහල ගීතයක රස මිහිර විදින අවසන් පරම්පරාව අපද කියල මට හිතෙනවා .එකට වගකිව යුත්තේ අපම නේද කියලා හිතෙන කොට හිතට දැනෙන  වේදනාව අපමණයි . ජාත්‍යන්තර පාසල්වල ජාත්‍යන්තර භාෂාවෙන් ඉගෙනුම ලබන අපේ දරුවන් රස විදින්නේ සිංහල ගීත නොව වෙනත් හෂාවන් වල ගීතයි. සිංහල ගීත කෙරෙහි  ඔවුන් දක්වන්නේ අලස බවක්. අප කුඩා කාලයේ පාසල් යන්නට සුදානම් වුයේ ගුවන් විදුලියේ උදෑසන ප්‍රචාරය වූ දේශාභිමානි ගීත ඇසීමෙනි. ඒවා විඳීමෙනි. එයින් සිංහල ගීතයේ රස මිහිර වගේම අපේ රට ජාතිය ආගම ගැන හැගීම් ඇති විය . උදෑසනම ඇසුණු හොඳ ගීතවලින් අපේ හිත් උද්දාමයෙන් පිරුණි. ඒ එදා ය. එහෙත් අද අපේ දරුවන් ට උදෑසන අහන්න දකින්න සිදුව ඇත්තේ හරසුන් ගීත.

බොහෝදුරට රුපවාහිනියේ වැඩසටහන් වලින් ප්‍රචාරය වන්නේ හරසුන් ගීත ගොන්නකි. එදා  උදාගීත ඇසීමෙන් අපට ලැබුණු උදාර සිතුවිලි අද දරුවන්ට ලැබෙන්නේ නැත. ඔවුන්ගේ මනස මෙන්ම පරිකල්පන ලෝකද හිස් බවින් පිරී ඇත. වරද ඇත්තේ අප තුළම නොවේද?

 අපේ දෙමාපියන් අපට උරුම කර දුන් රස වින්දන අවස්ථා අපි අපේ දරුවන්ට අහිමි කර තිබේ. එයින් අද බිහිවන්නේ හිස් බැවින් පිරුණු තරුණ පරපුරක් නොවේද? අපම නේද ඔවුන්ව ඒ මගට යොමු කරවා තිබෙන්නේ.

 දැන් දරුවන්ව ආපසු හරවන්නට බැරි තරම් දුර ඔවුන් ගිහින්. තරුණ පරපුරට දොස් කියා පලක් නැත.  මම අගනුවර හොඳ ගීත ප්‍රසංග නරඹන්න යනවා. එත් මගේ දරුවෝ ඒවාට ගෙනියන්නට බැහැ . අයියෝ අම්ම ඒවා හරිම “බෝරින්” කියල  මග අරිනවා . අන්න ඒ නිසා අන්තර්ජාලයෙන් හෝ යහපත් ගිත කලාවකට රසිකයන් යොමුකරන මෙවන් පිටුවලට  සිත් යොමුකරන්න අපට සිදුවෙලා තියෙනවා. අස්වැන්න කරන මේ මෙහෙය ඊට යම් පමණක අරුතක් සපයනු ඇති බව මගේ විශ්වාසයයි.


            ජෝතිමත් ගීතාවලියක රසවතා - 

මම හිතන්නේ මම අස්වැන්නේ ලියවුණ ලිපි 99න් හුඟක් දේවල් කියවලා තියෙනවා.. අස්වැන්නට මම ගොඩවෙන්න, ඔබේ ලියවිල්ලට ආදරේ කරන්න මූලිකම හේතුව තමයි ගීයක් ගැන හරි හැටි දැන ගන්න පුළුවන් කම ඔබේ ලිවිමෙන් ලැබෙන එක.. ඇත්තටම අපි ගොඩක් වෙලාවට සිංදු අහනවා විතරයි.. ඒත් ඒ ගැන හරි හැටි දැනීමක් නෑ.. 

 විශේෂයෙන්ම සුභාවිත ගීය ගැන ලියවෙන හැම දෙයකටම මම හුඟක් කැමතියි.. ජෝතිපාලයන් ගැන ලියවෙන ලිපි පෙලට මම ඇත්තටම හුඟක් කැමතියි.. මොකද එතුමාව මම කුඩාකාලේ ඉදන්නම ප්‍රිය කරපු ගායකයෙක් හන්දා..

 ඊට පස්සේ අතීතයේ ඇසුන ඒත් අපි හරි හැටි නොදැන රසවිදීම විතරක් කරපු ගීත බොහෝමයක ඒවා තැනුන ආකාරය ගැන මම නම් මුලින්ම දැන ගත්තේ ඔබෙන්.. ලිපි 99ක් පුරාවටම සිංහල ගීතය ගැන ඔබෙන් ලියවුන හැම අකුරක්ම හදවතින්ම අඟය කරනවා.. 

ඉදිරියටත් අපිට දැනූම දෙන්න ඔබේ ලිවීම ශක්තිමත් වෙන්න කියලා හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා.

                   
               ගීතයේ සහ සංගීතයේ උල්පත් සෙවීම -
         සුභාෂ් දීල්රුක් කන්නංගර - 
         ඇවිද්ද පය බ්ලොග් අඩවිය

දයානන්ද රත්නායක නමැති මගේ නොදුටු සහෘදයාගේ සියවන සටහන වෙනුවෙන් තබන කුඩා උදාන පාඨයකි.

දොයි ...දොයි ....දොයි ...දොයිය පුතා යනුවෙන් මගේ මෑණියන්ගේ හඬින් ඇසූ පළමු ගීතයේ සිට අද බිහිවන රැප් ආරේ ගීත දක්වා සියළු ගීත රසවිඳි පුද්ගයලෙකු ලෙස "අස්වැන්න" මා දකින්නේ එවැනි ගීත පිලිබඳ දැන ගන්නට පිපාසාවෙන් පෙලෙන්නෙකුට කතරක හමු වන ක්ෂේම භූමියක් ලෙස ය. 

සුදීක නමැති පුද්ගලයා තුල අපූරු සංගීත රසකාමියෙක් ඇත. ඒ මා වෙනුවෙන් මා කර ගන්නා එකම ආත්ම වර්ණනාවය. එයට හේතුව නින්දෙන් මා අවදි වන්නේද, නින්දට යන්නේද යම් ගීතයක් සිතෙන් මුමුණන අතර තුර බැවිනි. 

හැත්තෑව දශකයේ ගීත රස විඳින්නට වාසනාව මටත්, දයාටත් හිමි වීම අපගේ වාසනාවකි. එදා මෙදා තුර ටීටර්, උත්තර භාරතීය, ගසල්, ශාස්ත්‍රීය, බයිලා, කපිරිඥ්ඥා, පෘතුගීසි, ස්පාඥ්ඥ, ලතින්, රොක්, රෙගේ, රැප් ආදී මෙකී නොකී සියලුම සංගීත ආර්යන් රස විදින්නට ලැබිණි. ඒ හැමෙකකම කුමක් හෝ රසයක් වින්දෙමි. එවනි රසකාමී හදවතක් ඇති කෙනෙකුට අස්වැන්න තෝතැන්නකි. අස්වැන්නෙන් මා ලද දේ බොහෝය. ඒ ඉයර් ෆෝන් දෙකක් කනේ ගසාගෙන පහසුවෙන් ගීයක් රසවිඳින වත්මන් සමාජයේ කොටස් කරුවකු ලෙස, ඒ ගීයක් නිර්මාණය වී අපගේ දෙසවන් තුලට එන්න පෙර සිදුවන අපූරු ක්‍රියාදාමය පිලිබඳ සැකෙවින් දැන ගත්තේ මෙය නිසා බැවිනි. 

අස්වැන්න ඉතා ජනප්‍රිය බ්ලොග් අඩවියක් නොවේ. එය කනගාටුවට හේතුවකි. නමුත් දයා ජනප්‍රියත්වය පසුපස හඹා යන්නකු නොවේ. ඒ නිසාම නොසැලී දිගටම ලේඛන කාර්යයේ යෙදෙන්නට ඔහුට ධෛර්යය තිබේ. එය සතුටට කරුණකි. බ්ලොග් ලොවට පිවිසෙන බොහෝ දෙනාට නැති ඒ නොපසුබස්නා වීර්යය දයා තුලින් මා දුටිමි. 

ඔහු වෘත්තියෙන් නීතිඥයෙකි. ලේඛකයෙකි, කලාකරුවෙකි, ගීත රචකයෙකි. මේ සැමටම වඩා ඔහු ගී විචාරකයෙකි. අස්වැන්න සියවන පියවරට මා සුභ පතන්නේ ඉත සිතිනි. 



         සුභාවිත ගීතය සොයන ඔහු - නලීන් දිල්රුක්ෂ                     ප්‍රවෘත්ති කර්තෘ දිණමින පුවත්පත සමකය වටේ බ්ලොග් අඩවිය

අහඹු ලෙස මීට වසරකට පමණ පෙර මම ද බ්ලොග් කියවන්නෙකු හා ලියන්නෙකු බවට පත් වූයෙමි. එදා මෙදා ගතවූ කාලය තුළ විවිධාකාර වූ අරමුණු වෙනුවෙන් ලියැවෙන බ්ලොග් අඩවි ගණනාවක්ම කියවා ඇත්තෙමි. ඒ අතරින් ගත් කල විවිධ වූ ඉසව් ස්පර්ශ කරමින් ලියැවෙන අගනා බ්ලොග් අඩවිද මට කියවන්නට අවස්ථාව ලැබිණි.

 ශ්‍රී ලංකාවේ සුභාවිත ගීත සාහිත්‍ය සිය තේමාව කොට ගනිමින් ලියැවෙන බ්ලොග් අඩවියක් පවත්වාගන ඉමහත් සේවාවක් සපයන කෙනෙකි දයා.  ගීත සාහිත්‍යයක් බ්ලොග් තුළ ගොඩනගන්නට හේ ඉමහත් කැප කිරිමක් කරයි. එක් ලිපියක් වෙනුවෙන් තොරතුරු සොයන්නට හෙතෙම වෙහෙසෙන බව අපට පෙනෙයි. 

ඉතින් මා මහත් ලැදි කමකින් මෙතෙක් කාලයක් කියැවූ දයාගේ අස්වැන්න බ්ලොග් අඩවියේ සියවැනි පෝස්ටුවයි අපට මීළගට කියවන්නට ලැබෙන්නේ. පෝස්ටු සියයක් යනු සිංහල බ්ලොග් කලාවේ කඩ ඉමකි. එම කඩඉම හරවත් ලෙසින් පසුකරන හිතවත් දයාට මගෙන් සුබ පැතුම්.

   
රජරට ගොවි බිමක  සරු අස්වැන්න -
තුසිත කුමාර 
(තොරතුරු හා තාක්ෂණ උපදේශක අංගමුව මහා විද්‍යාලය)

ගොවියෙකු බිම සැකසීමට මහත් වෙහෙසක් ගනී. එම බිම වගාවකට සුදුසු බිමක් ලෙස ගොඩනැඟීමට ඔහු කාලය කැප කරයි. දහදිය වගුරවයි. දියවර හරවා සරු පස පෙරළා බිජු වපුරයි. පොළොවෙන් ඉහළට ඇදෙන පැළය ඔහුට මහත් සංතුෂ්ටියක් ගෙන එයි. වැඩෙන පැළ අතු ඉති දමමින් හාත්පස විහිදෙන විට ගොවියා සොම්නසින් ඉපිල යයි. මලින් බර වන එම වැඩුණූ පැල ඵල දරන්නට පටන් ගත් විට එම සොම්නස දෙගුණ තෙගුණ වෙයි. වැඩුණූ ඵල නෙලා එහි මිහිර විඳ ගැනීමට හැකි වීම ඔහු ගත් වෙහෙසට ලැබෙන අමයුරු තිළිණයකි.
 
වඩාත් ම වැදගත් වන්නේ ඒ කිසිවක් ම නොවේ. එළෙස වෙහෙස දරා කාලය කැප කර අස්වැද්දූ බිමෙහි ඉපදුණු ඵල තනිව බුදින්නේ නැතිව හාත්පස සිටින ජනී ජනයාටද එම ඵල වල මිහිර විඳින්නට ඉඩ කඩ සලසා දිමයි. දුරින් සිටින්නන්ට ද අඩ ගසා මිහිර බෙදා හදා ගැනීමයි. එම මිහිර නේක ජනයා විඳ ගනු බලා නිහතමානී සතුටකින් සංතුෂ්ටියට පත් වීමයි.
 
 දයා සයිබර් අවකාශයෙහි අස්වැද්දූ බිමෙහි හට ගත් අස්වැන්න බෙදා හදා ගන්නට පටන් ගන්නේ 2011 වසරේ මහ කන්නයේදීයි. එම අස්වැන්නේ ඵල වල මිහිරි මා හට විදින්නට හිමි වන්නේ අහම්බයෙන්. දිනක් මේ වර්චුවල් බිමෙහි ගීතයක මං හසර සොයමින් නෙක සැරි සරන විට අමුතු නමක් දැක ගත හැකි විය.අස්වැන්නඑය මට වඩාත් දැනෙන්නට වූයේ ගොවිතැන් නොකළත් ගොවි බිම් ගොන්නක් මැද දිවි ගෙවන මට එම වචනය වඩාත් සමීප බැවිනි.
 
දයාගේ අස්වැන්න හැම විටම නැවුම් මිහිරක්, ජීවිතාවබෝධය ගෙන එන තෝතැන්නක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එය හැම විටම අප ජීවිත නව හැඟුම් වලින් පෝෂණය කරන සරුසාර අස්වැන්නක් ම විය.
 
දවසින් දවසට කොළයෙන්
              කොළයට කොළ අඩුවෙනවා
දින දසුනේ
මොහොතින් මොහොතට
මා ගැන සටහන් වියැකී යනවා
              ඔබ මනසේ
 
කේ.ඩී.කේ ධර්මවර්ධනයන් එඩ්වඩ් ජයකොඩි ගායාකයානන්ට ලියූ එකම ගීතය ගැන මට කියා දුන්නේ මේ අස්වැන්නයි. බන්දුල විජේවීරයන්ගේ ඔරිජිනල් ගීත සොයනා විට අපූරු මතක ගොන්නක් සමඟ ඔහුව මුණ ගැස්වූයේ දයාගේ අස්වැන්නයි. මල්පැලේ උපන් පන්සලේ පියතුමා සිංහල පාඩමේදී දරුවන් සමඟ බෙදා හදා ගත්තේ ඒ අස්වැන්නේ අනුහස තවත් පතුරවමින්. ජෝතිපාලයන් පිළීබඳ අපූර්ව මතක නැවත අළුත් කළෙත් මේ සරු බිමමයි. අපේ කාලයේ උත්තරීතර කලාකරුවෙක් වන විශාරද ජයතිලක බණ්ඩාරයන් පිළීබඳ දයා තැබූ සටහන් කිහිපය ඔහුට කළ ගෞරවයක්. ජයතිලක අයියා ගැන නොදත් බොහෝ පිරිසක් ඒ අස්වැන්නෙන් පෝෂණය වූවාට සැක නැහැ. වකුගඩු රෝගීන් වෙනුවෙන් ජයතිලක අයියා කළ පළමු ගීත ප්‍රසංගයට දයාටත් මටත් එක්වන්නට ලැබිම භාග්‍යයක් වූවා.
 
ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් ගේ නිර්මාණ වපසරිය අපට නැවත වරක් සිහි කැඳවන්නටද අස්වැන්න අමතක කළේ නැහැ. සුනිලා අබේසේකර අදීන කලාකාරිය ගැන ඔබ තැබූ සටහනත් අදීනයි. මේ සියල්ල හරහා දයාගෙ අස්වැන්න අපගේ ජීවිත සුපුෂ්පිත කිරීමට උදව් වන අපූරු බිමක්. ඒ බිමේ සරු අස්වැන්න හෙට දිනයේත් අපේ මනස්, ජීවිත පෝෂණය කරනු දැකීම අපේ පැතුමයි. 100 වන අස්වැන්නට අප සියලු දෙනාගේ උණුසුම් සුබපැතුම් මෙළෙස එක් කරමු.
..........................................................................................................................




මේ ගමන් මගෙහි සියක් වාරයක් පැමිණි, පැමිණ සහය දැක්වූ ඔබ වෙනුවෙන්  මේ ගීතය .... ඔබට   උපහාරයක් ම වේවා.....



දෝතට ගනිමූ දෝතට ගනිමූ

ඉරද හඳද මහ පොළවද

දෝතට ගනිමූ...



ළා හිරු එළියේ දිලිසෙන

විළිකුන් ඵලයක්

නිසල රැයේ කඩා හැලෙන

නිල්වන් තරුවක්

දයා දියෙන් පෙඟී රිදෙන

හදවත් කැටියක්

ඒ හදවත ගැන ලියැවෙන

ආදර කවියක්





පිළුණු ලොවම ඉවත හෙළන

මිනිසා වෙනුවෙන්

වෙනස් වෙන්න බලා සිටින

ලොව ගැන පැතුමක්

ඒ පැතුමන් රැගෙන ගලන

නිදි නැති නදියක්

දෙගොඩ තලන ඒ නදියෙන්

බිහිවෙන දරුවෙක්




ගීපද මාලාව සහ

සංගිත නිර්මාණය: ආචාර්ය සුනිල් විජේ සිරිවර්ධන

ගැයුම: සුනිලා අබේසේකර සමග

          ආචාර්ය සුනිල් විජේ සිරිවර්ධන


                         



Related Posts Plugin for WordPress, Blogger...